බල්ලෙක් තමයි හැබැයි බෙලාටත් ඇවිදින්න උගන්නපු

අපි ජිවත් වෙන්නේ හරිම පුංචි කාලයක් උනත් ජිවිතේ දී අපිට ගොඩක් හීන තියෙනවා. ඒ හැම හීනයක් ම අස්සෙන් තැනින් තැන ඇවිදින්න යන්න ලස්සන දේවල් හොයා බලන්න අපි හැමෝම ආසයි. හැබැයි දවසක අපිට ඇවිදින්න බැරි වුනොත්. ඇවිදින්න තියෙන අවසන් බලාපොරොත්තුවක් නැති වෙලා කකුල් දෙකටම ශක්තියක් නැතිව ගියොත් අපිට මොනවා හිතේවි ද ? 

තමන්ගේම වැඩක් කර ගන්න තනියම කකුල් තියාගන්න බැරි වෙනකොට රෝද පුටුවකට වාරු වෙලා ඉන්න වෙන කොට පණ නැති කකුල් වලින් කිහිලිකරුවක් ආධාර කරගෙන සමබර ව එහා මෙහා වෙන්න උත්සාහ කරන්න වුනොත් ඒක කෙනෙක්ට කොයි තරම්  නම් වේදනාවක් වෙයි ද ? 

හිතේ වේදනාව විතරක් නෙවෙයි ශරීරයෙන් නැගෙන වේදනාව පුංචි බෙලා බර්ටන්ටත් දරා ගන්න පුළුවන් වුනේ නැහැ. අවුරුදු නවයකටත් වඩා පුංචි වයසකදී තමන්ගේ කකුල් වලට ඇවිදින්න බල කරලා සැත්කම් අසීමිත සංඛ්‍යාවක් කරලා බෙලා හෙම්බත් වෙලා හිටියේ. දුර්ලභ ගණයේ ප්‍රවේණි රෝගයකින් පිඩා වින්ද බෙලා තමන්ට දවසක ඇවිදින්න පුළුවන් වෙයි කියලා තිබුණු හැම හීනයක් ම පැත්තකට විසික් කරලා හිටපු ගෑනු ළමයෙක්.  

හැමදේම පටන් ගත්තේ බෙලාට අවුරුදු දෙකහමාරක් වෙද්දී. බෙලාගේ ශරීරයේ වර්ධනය අඩාල වෙනකොට බෙලාව පරික්ෂා කරපු වෛද්‍යවරුන් ඇයව ජාන පිළිබද විද්‍යාඥයින් වෙත යොමු කරනවා. ඇයගේ සිරුර පුරා පැතිරුණු Morquio syndrome කියන රෝගය නිසා ඇයගේ කකුල් දෙකේ අස්ථි වල ශක්තිය ඒ වනවිට අහිමි වෙලා තිබුනේ. වෛද්‍යවරුන්ට පවා ඇයගේ සුවවීම ගැන බලාපොරොත්තු තිබුනේ නැහැ. මේ හැම දෙයක් එක්කම කාංසාවෙන් වේදනාවෙන් පාළුවෙන් අසරණ වෙලා හිටපු බෙලාට යාලුවෙක් හොයලා දෙන්න බෙලාගේ මව්පියන්ට ඕනි වෙනවා. 

ඔවුන් ඒ වෙනුවෙන් තෝරා ගන්නේ බලු හුරතලෙක්ව. බල්ලන් විශාල ප්‍රමානයක් හමුවට බෙලාව එක්කන් ගියත් ඒ බල්ලෝ ආබාධිත බෙලා දිහාවේ ඇහැක් ඇරලාවත් බලන්න කැමති වුනේ නැහැ. උන් උන්ගේ පාඩුවේ හිටියේ බෙලාව වැඩක් නැහැ වගේ, ඒත් එක බල්ලෙක්ට ඒ හැම දෙයක්ම එහෙම වුනේ නැහැ. බෙලා දිහාවේ විමසිලිමත් ව බලපු ඒ බලු පැටියා හෙමිහිට බෙලා ගාවට ඇවිත් එයාගේ මුණ බෙලාගේ ඇගට හේත්තු කරගෙන බලාගෙන හිටියා. ඒ ජෝර්ජ්. බෙලා ජෝර්ජ් ව තෝරා ගන්නත් කලින්ම ජෝර්ජ් බෙලාව තෝරා ගත්තා. ඒ 2015 ජනවාරි 19 වෙනිදා. එතකොට බෙලාටත් අවුරුදු නවයයි.  

එදා ඉදන් ජෝර්ජ්ගේ මුළු ලෝකෙම වුනේ බෙලා. බෙලාගේ ලෝකේ බලාපොරොත්තු කියලා කිසිවක් ම නොතිබුනත් ජෝර්ජ්ට නම් බෙලා ගැන අහස උසට බලාපොරොත්තු තිබුනා. ඒත් බෙලා කරේ ජෝර්ජ් ගාවින් දිගා වෙලා උන්නු එක විතරයි. හිතේ ශක්තියක්ව නොතිබුණු බෙලාට හිතේ ශක්තිය වගේම ගතේ ශක්තිය දෙන්නත් මුලික වුනේ ජෝර්ජ්. කිහිලිකරු අස්සෙයි රෝද පුටුව අස්සෙයි හිර වෙලා හිටපු පුංචි බෙලාට කිහිලිකරුවක් අතඇරලා ජෝර්ජ්ගේ පිට උඩට මුළු ඇගම වාරු කරගෙන හෙමිහිට කකුල් උසන්න උනන්දු කරන එක තමා ජෝර්ජ්ගේ පලවෙනි ආසාව වුනේ ඒක. ඒ නිසා එක පියවරක් හරි ඉදිරියට තියෙන එක කොච්චර අමාරු වුනත් බෙලා හෙමිහිට උත්සාහ කරනවා. 

“ ජෝර්ජ් හැම තිස්සෙම මන් එක්කම හිටියා. මට දුකක් දැනෙන හැම මොහොතකම ජෝර්ජ් ට ඒක දැනුනා. එයා ඒ වෙලේට ඉක්මනට ඇවිත් මන් ගාවන් දිගා වෙලා හේත්තු වෙලා බලාගෙන ඉන්නවා. ජෝර්ජ්ට ඕනි වුනේ මාව සතුටින් තියන්න.. “

බල්ලෙක් වුනත් ජෝර්ජ් ට අපුරු හිතක් තිබුනා. ඒ කාලෙම බෙලා ට බොස්ටන් ළමා රෝහලේ දී සැත්කම් පනහකට අධික සංඛ්‍යාවක් වගේම අසීමිත වූ චිකිත්සම් රැසකුත් කරන්න සිදු වෙනවා. ඒ හැම මොහොතකම හැම රෑක නිදිවරාගෙන බෙලාගේ රෝහල් ඇද උඩින් වැතිරිලා ජෝර්ජ් බෙලා දිහාවේ බලාගෙන හිටියා. ඒත් ඒ හැම සැත්කමක්ම අසාර්ථක වෙනකොට බලාපොරොත්තු විසික් කරලා දැම්මේ ජෝර්ජ් නම් නෙවෙයි. ආයෙත් හෙමිහිට බෙලා වාරු කරගෙන තැනින් තැන යන්න ජෝර්ජ් පටන් ගන්නවා. බෙලාට ටිකෙන් ටික ඇවිදින්න ශක්තිය ලැබෙන කොට තනියම ඇවිදින්නත් බෙලාව උනන්දු කරනවා.

අවුරුදු 10ක ගෑනු ළමයෙක් තියෙන හැම පියවරක් එක්කම හැම තැනකටම යන එක බල්ලෙක්ට වුනත් කොහොමත් ලේසි වැඩක් වෙන්නේ නැහැ. කොච්චර අමාරු වුනත් ජෝර්ජ් බෙලාව ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒ නිසා බෙලා තමන්ගේ කකුල් වලට ඇවිදින්න ඉඩදෙන්න ආයෙත් උත්සාහ කරනවා. 

මේ උත්සාහය නිසාම බෙලාට අවුරුදු 11ක් වෙද්දී එක ගිම්හානයක දී පලවෙනි වතාවට ඇවිදින්න වගේම බයිසිකල් පදින්නත් බෙලාට හැකියාව ලැබෙන්නේ ජෝර්ජ් ව සතුටින් මුසපත් කරමින්.

ජෝර්ජ් වතුරට එච්චර කැමති කෙනෙක් නෙවෙයි. ඒත් බෙලා වෙනුවෙන් බෙලා එක්ක බෝට්ටු සවාරි යන්න පවා ජෝර්ජ් හිත හදා ගන්නවා.  ජෝර්ජ්ගේ ඇගට වාරු වෙලා ස්කොලේ යන්න විතරක් නෙවේ සෙල්ලම් කරන්නත් බෙලාව හුරු කරනවා.

“ මොනවද කරන්න ඕනි කියලා වගේම මගේ පන්ති තියෙන්නේ කොහේද කියලත් ජෝර්ජ් දැනගෙන හිටියා. ඒ හැම තැනකටම මාව එක්කන් යන්නේ එයා. හැම පන්ති වේලාවකදී ම ජෝර්ජ් කරේ ටිකක් නිදා ගන්න එක. හැබැයි ආයෙත් මට එයාව ඕනි වෙද්දී ජෝර්ජ් මන් ගාව. මට ඇවිදින්න අමාරු වෙද්දී එයා චුට්ටක් නැවතීලා මහන්සි අරින්න ඉඩ දෙන්නත් දැනගෙන හිටියා. “

බෙලාගේ ජිවිතේ තමන්ට පුළුවන් උපරිමයෙන්ම වෙනස් කරපු ජෝර්ජ් තාමත් බෙලා ගාව. බෙලාගේ ලගින් තාමත් ඉදන් බෙලාට හිනාව ගේන ජෝර්ජ් නිකම්ම නිකම් බල්ලෙක් වෙන්නේ නැහැ. ඒ නිසයි තමන්ගේම රට ඇමරිකාව ජෝර්ජ් ට සම්මාන දෙද්දී මුළු ලෝකෙම ජෝර්ජ් ට අසීමිතව ආදරේ කරන්නේ.

අරුණි කළුපහන

also read : http://shadesoflotus.com/දුම්බර-කඳු-අස්සෙන්-මතු-වු/

345total visits,4visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *