උමතුකාරක

සය මසක පමණ සිට සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනකම, මා අතට පත්වන නිර්නාමික ලියුම එදින දහවල් දොළහ වනවිටත් නොලැබීම කණගාටුවට කරුණකි. තම ආදරිය මුණගැසීමට හා මුදු පහසේ දැවටෙනු පිණිස දිගු කලක් අසීමාන්තිකාශාව සහිතව දින ගණන් කරමින් සිටි පෙම්වතෙකුගේ බලාපොරොත්තුව හදිසියේ බිඳ වැටුණාක් මෙන් මම මළානික වී හිඳියෙමි.

ලාච්චුවෙහි පිළිවෙලට අසුරා තිබුණු ලිපි විසි හතර නැවත නැවතත් මුල සිට කියවීම මිස, පෙළන ලද ඒ වියළි බවෙන් අත් මිදීම සඳහා කළයුතු අන් යමක් සිහියට නාවේය. පේලි තුන හතරකට නොවැඩි තරමක් වටකුරු අකුරින් ලියන ලද ඒ සියළු පණිවුඩ, සුදු හාෆ් ශීට් කොළ මත සටහන් වී තිබිණ. සෑම අකුරක්ම වචනයෙන් විස්තර කර නොහී රිදුමකින් මා වේදනාවටත්, සියුම් ආනන්දයකටත් පත්කරන්නට සමත් විය. කොහේ හෝ ජීවත්වන ගැහැණියකට එම අකුරු අයිති වන්නේ යයි නිගමනයකට ඒම පිණිස ම’විසින් කිනම් මිනුම් දඬු උපයෝගී කරගත්තේ දැයි නිච්චියක් නැත.

බෝල් පොයින්ට් තීන්ත වල සුවඳ හැරුණු කොට ඒ කඩදාසි වෙතින් හමා ආ කිසියම් සිහින් සුවඳකට මම ආශක්ත වී හිඳියෙමි. කාමරයෙන් බැහැරව, වටපිටාවන්හිදී විවිධ වුවමනාවන් සඳහා මා යනෙන තැන්වලදී පවා, ඒ සුවඳ අහඹුව නැහැයට දැනෙන මනසිකාරයක් දක්වා වර්ධනය වී තිබිණ.

ඒ නිර්නාමික උමතුකාරකය විසින් ම’ජීවිතයට ගෙන එන ලද හදිසි ප්‍රබෝධය නිසාවෙන් දෙෙනික වැඩ රාජකාරි අමතක වීමේ සිට උණූ තේ පානය කිරීමෙන් දෙතොල පුළුස්සා ගැනීම දක්වාද, නියමිත බස් නැවතුම මගහැරී, පයින් අාපසු නවාතැනට හා කාර්යාලයට පැමිණීමට සිදුවීම ආදී බොහෝ වෙහෙසකාරී අතපසුවීම් දක්වාද උඩු දුවා තිබිණ.

“මට ඔයාගෙන් දරුවෙක් ඕන” සෙනසුරාදා දින වරුවෙන් කන්තෝරු අවසන්වී සතියට වුවමනා කරන ලද කළමනාද දෑතින් එල්ලාගෙන නවාතැනට ගොඩවීමෙන් ඉක්බිතිව, දොර පාමුල බිම වැටි තිබෙනවා දුටු ඒ ලියුමෙහි සටහන් වී තිබිණ. සැනෙකින් මා කේන්ද්‍ර කොටගත් ලෝකය නිශ්චල වී දුමාර අංශු ගුලියක් බවට පත්විය විය යුතු වුවද, එහි ග්‍රහණයට නතුවන්නට ප්‍රථමව මා ඒ වනවිටත් පුටුවකට වාරුවී හිඳියෙමි. ලැබෙනා වූ නිශ්චිත ලිපිනයක් නැති, එවනා කෙනෙකුගේ නාම මාත්‍රයක් පවා සඳහන් නැති එ’ලියුමෙහි සටහන් වූ දේ තරම්, මා සසල කරලීමට සමත් වූ දෙයක් මින් එපිට අත්විඳ ඇති බවක් මතකයක නැත.

“කොහෙද යන පිස්සෙක්”

කාමරය පුරා පැවති කිසියම් බලාපොරොත්තු සුන්වීමකින් මඩින ලද අතිශය ගැඹුරු නිහැඬියාව බිඳිමින් දුරකථනය නාද විය.

“හෙලෝ…..!…” ඒ වනවිටත් ඇමතුම විසන්ධි වී තිබිණ.. ම‍ෙපිටෙහි රිසිවරය හඬක් නගමින් දුරකථන බඳ මත පතිත විය.

නින්ද විසින් අරියාදු ලැබූ අඩ නින්දෙහි, හෝරා කිහිපයක් සංවේදනයකින් තොරව ගෙවීමෙන් අනතුරුව රාත්‍රිය එළැඹී තිබිණ. රාත්‍රී ආහාරය සඳහා පාන් පෙති දෙකක් ටෝස්ට් කර පිළියෙළ කරගත් මම නාන කාමරයෙහි වතුර මල යට බොහෝ වෙලාවක් ගත කරන්නට ඇත.

වටපිටාවෙහි ඉතා තද සීතලක් පැවති අතර ධාරානිපාත වර්ෂාවක් එපිටෙහි බොහෝ වේලාවක හිඳ ඇදහැලෙමින් පැවතිණ. වෙලාව රාත්‍රී එක පමණ වන්නට ඇත. සුපුරුදු පරිදි සියලු ලයිට් නිවා දමා මම ලියන මේසය මත කුඩා ආලෝක පහන දල්වා ගතිමි. එය, ගිය වසරෙහි මගේ තුන්වන නවකතාව “ජාතික සාහිත ප්‍රබෝධ” සාහිත්‍ය තරඟයෙහි ප්‍රථමස්ථානයට තේරීමෙන් අනතුරුව පැවති ඇගයීම් සම්මාන ප්‍රධානෝත්සවය අවසානයේ, තේපැන් සංග්‍රහය අතරතුර යුවතියක විසින් මා අත තැබූ තිළිණයකි. ඈ හට ස්තුති කරන්නටවත්, ඈ කවුරුදැයි දැනගන්නටවත් ප්‍රථම සෙනග අතරින් ඈ අතුරුදන් වී තිබිණ. ඒ පිළිබඳව පසු කලෙකදී පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිහිපයක පවා සඳහන් කොට ඈ හට විශේෂයෙන් ස්තුති කළේ ඇයි දැයි වැටහීමක් නැත. සැලකිය යුතු ප්‍රමාණයෙන් ලැබුණු සෙසු ප්‍රශංසා හා ත්‍යාග නොසළකා හරින්නට තරම් සාධාරණ හේතුවක් නැත.

ටෝස්ට් කරන ලද පාන් පෙත්තෙහි නැවුම් වියළි සුවඳ කාමරය පුරා සැරිසරමින් පැවති අතර, මම අඩ’වසන් නවකතාව සඳහා කවියක් කුරුටුගාමින් හිඳියෙමි.

“හිමායිත
මධු බඳුන් දෑසින්
මා සසල කළ ගැහැණි
මා උමතු කල ගැහැණි

ලොව සුණු විසුණු වී
මා දැවෙන…………….

දුරකථනය නාද විය.

ඒකාග්‍රතාවය බිඳීමෙන් බට ආවේගය සහිතව මම රිසිවරය අතට ගතිමි. කෙනෙකු හුස්ම ගන්නා හඩක්, අපැහැදිලි දුරකථන ශබ්ධ සංඛ්‍යාත අතරින් ඇසෙන්නට විය

“හෙලෝ !.. හෙලෝ !!. කවුද..කාටද කතා කරන්න ඕන?” පිළිතුරු නැත. ප්‍රතිපසින් රිසිවරය තබන හඬ පැහැදිලිව ඇසිනි..

වර්ෂාව හරිහැටි තුරල්වූ පාටක් නැත. වහලයෙහි රැස් වූ වතුර, වැහි පීල්ල ඔස්සේ නිදහසේ කාණුවට විසිරෙන ඝෝෂාව අතරින් මා තිගැස්සී ගියේ කාගේ හෝ දොරට තඩිබෑමකිනි.

වේලාව පාන්දර දෙකයි තිහට ආසන්නව තිබිණ. මොනයම්ම කාරණයකට වුව දොර නොහරිමියි සපථ කොටගත් මම කළුවර අත ගා සාලය දෙසට ඇවිද ආවෙමි. නොනවත්වා දොර පලුවට තඩිබෑම හේතුකොටගෙන, මා සිරුර තුල කලක් තිස්සේ නිද්‍රශීලිව හුන් බොළද සත්වයෙකු ඇහැරී තිබිණ. ජනෙල් බීරළු තුළින් හිරිකඩ තද සුළං සමග සාලයට පාත්වෙයි. මම ඉදිරිපස ජනේලය අසල පුටුවකට නැග බීරළු කාවුලෙන් දොර අසල බිම විපරම් කළෙමි.

කළු වැහි කබායක් පැළඳ ඉන් හිසද ආවරණය කරගත් කෙනෙකුගේ අපැහැදිලි ඡායාවක් විසින් යලිත් දොරපලුවට තඩි බාන්නට විය. අනතුරුව ඒ සිරුර එතනින් මෑත් වී අත රැඳී විදුලිපන්දමක ආලෝකය, ජනේලයෙහි වීදුරුව අතරින් සාලය තුළට යොමන්නට විය. මම වහා පුටුවෙන් පැන දොරෙහි සෙවණැල්ලට මුවා වීමි. ආලෝකය නිවා දැමු ඒ රුව සිමෙන්ති පඩි කිහිපය බැස ගොස් වර්ෂාව මුසු අඳුරෙහි සැඟව යන අයුරු යතුරු සිදුරෙන් දැකගත හැකි විය.

හිරිකඩ ඉහිරී තිබුණු සාලයෙහි සීතල බිම පාගා මම නිදන කාමරය වෙත සෙමින් පියවර තැබුවෙමි. ඒ මොහොතෙහි කිසිසේත් සිදු නොවිය යුතු අයුරකින් කාමරය පුරා ඒ ඉමිහිරි සුවඳ විසිරී පැතිරී තිබිණ.

ලියන මේසය අසල පුටුවෙහි කළු වැහි කබාය හැඳගත් රුව, හිඳගෙන හිඳිනු දැකීමෙන් ලද තිගැස්මෙන් මා, පය ලෙස්සා බිම ඇද වැටිණි.

“පිටිපස්සේ දොර ඇරලා තිබුණේ” සියවරක් සංසුන් සෞම්‍ය ගැහැණු හඬකින් කළු කබාය හැඳගත් සිරුර මිමිණීය…

~ රයිටර් ~

172total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *