කැලයක් මැද ගඟක් අයිනේ ලොරියක රැයක්

හැමදාමත් වගේ ලොකු බෑග් එකක් කරේ දාගෙන කැලෑවල් ගානේ යන්න , කඳු නඟින්න පුංචි කම්මැලිකමක් හිතට ඇවිත්. මේ දවස්වල ලංකාවේ හැම තැනටම හවස්වෙද්දි වහින නිසා වැස්සේ Travel කරන එක ටිකක් අවදානම් සහිතයි.

ඉතිං පුරුද්ද අත්හරින්න බැරි නිසාම සති අන්තය ගත කරන්න ලස්සන ඒත් වෙනස්ම තැනක් හොයාගෙන මම මොණරාගල බලා පිටත් වුණා. ගමන නම් ටිකක් දුෂ්කර වුණේ සැලකිය යුතු දුරක් ගමනාන්තය දක්වා තිබූ නිසාවෙනි. කොළඹ සිට මොණරාගල බලා බස් රථයක එද්දි බුත්තල නඟරය පහුකළ විට හමුවෙන කුඹුක්කන නඟරයෙන් බැහැලා මාළිඟාවිලට එන බස් රථයක නැඟී මදක් දුර එන විට හමුවන ඔක්කම්පිටිය හංදියෙන් බැස ගන්න ඕනි.

ඔක්කම්පිටිය හංදියෙන් දඹේයාය අලි වාඩියට ගිහින් දාන්න කීවොත් ගමනාන්තයට ළඟාවෙන්න පුළුවන්. ගමේ අය අලිවාඩිය කීවාට මෙය හැඳින්වෙන්නේ ” Kumbuk River Eco Extraordinare ” ලෙසයි. කුඹුක් ඔය ඉවුරේ ඉතාම නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන මෙම ස්ථානය ගතටත් හිතටත් එක් කළේ මහත් වූ අස්වැසිල්ලක්. පරිසරයට හානියක් නොවන අයුරින් වගේම සොබා සෞන්දර්ය එලෙසටම පවතින අයුරින් ස්වාභාවික

අමුද්‍රව්‍ය යොදාගෙන මෙම ස්ථානය ඉදිකර ඇති නිසා මෙය ඉතා අපූරු තැනක් ලෙස හැඳින්විය හැක. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ නවාතැන් ගන්නා ස්ථාන සිව් ආකාරයකට සකස් කර තිබූ නිසාවෙනි.

01) Elephant Villa

අලියෙකුගේ ආකෘතියෙන් යුතුව සකස් කර ඇති මෙය තුළ විශාල නිදන කාමර දෙකක් ආලින්දයක් සේම නාන කාමරයකින්ද යුක්තයි.මෙය අලියෙකුගේ හැඩය ගත් නිසාවෙන්ම ගමේ අය අලිවාඩිය කියන්න ගත්තා කියලා තමයි ත්‍රී රෝද රථයේ රියදුරු හීන් මාමා මට කීවේ.

 

02) Tree Luxuria

අතීතයේ හේන්වල උස ගස්වල තිබූ පැල් වල ආකෘතියෙන් සකස් ඇති මෙය ගසක් මත සුඛෝපභෝගී ලෙස පරිසරයේ සුන්ඳරත්වය විඳිය හැකි ලෙස සකස් කළ නවාතැනකි.

03) Boat House

කුඹුක්කන් ඔය මත ඉතා ආරක්ෂිත ලෙස සකස් කර ඇති මෙය තුළ රැයක් ගත කිරීමට ලැබීම අපූරු අත්දැකීමක්.

04) Jungle Lorry

පැරණි ලොරියක් තුළ ඉතා සුවපහසු ලෙස සකස් කර ඇති මෙම ස්ථානය ඉතා අපූරු අත්දැකීමක් ගෙන දෙන්නක් වුණා. කුඹුක්කන් ඔය අසලම නවතා තිබූ ලොරිය තුළ මගේ රාත්‍රිය ගෙවුණේ හරිම අපූරු විදිහට. පුංචි පුංචි සත්තුන්ගේ රැහැයියන්ගේ නාදයත් පහළට ගඟ ගලා බහින සද්දෙත් එක්ක සුළඟට ගස්වල අතු කොළ හෙළවෙන හඩත් එකතු වුණාම මුළු රාත්‍රියම සොබාදම් මෑණියන්ගේ නැළවිලි ගීයකට සවන් දුන්නා හා සමානයි කියලයි මට හැඟුණේ.

එය වෙහෙසකර මනසට ගෙන දුන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. ගමන් මහන්සිය නිසාත් සැහැල්ලූවූ මනසින් යුතු වූ නිසාත් සුවපහසු නින්දකින් උදෑසන අවදිවූයේ කුරුල්ලන්ගේ ඉමිහිරි ගීත නාදයන් කණවැටෙනවාත් එක්කමයි.

මීදුම් අතරින් ඉර එළිය ගලාගෙන යන ජලයට වැටිලා දිළිසෙන අපූරුව බලන්න මේ ඇස් කොයිතරම් වාසනාවන්තද? දේශීය පෝෂ්‍යදායි ආහාර වර්ග කිහිපයකින්ම සමන්විත වූ රසවත් උදෑසන ආහාරවේලෙන් පසු අවට පරිසරයේ සුන්ඳරත්වය විඳින්න අමතක කළේ නැහැ.

සුහදශීලි කාර්යක්ෂම කාර්ය මණ්ඩලයේ සේවාවත් මෙම ස්ථානයට පැමිණෙන අයගේ සිත්වල ඇති කළේ ඉතා සතුටුදායක හැඟීමක්. යෝගා , භාවනා ක්‍රම , ඖෂධීය සම්භාහනයන් ආදී විවිධ වූ ක්‍රියාකාරකම් රාශියක් මෙම ස්ථානයේ දැක ගත හැක. වැඩිහිටියන්ට සේම දඟකාර පුංචිත්තොන්ටත් විශේෂ ක්‍රියාකාරකම් රැසක් මොවුන් විසින් මෙහි සූදානම් කරලා තියෙනවා. ජීවිතේ සොඳුරුතම මතකයන් නිදහසේ විඳින්න, මනසට විවේකයක් ලබා දෙන්න , සොබාදහම රස විඳිමින් අපූර්වතම අත්දැකීම් රාශියක් විඳින්න හොඳම වෙනස්ම තැනක් ලෙස “Kumbuk River Eco Extraordinare ” හැඳින්වීමට පුළුවන්. මේ අත්දැකීම රෝන්දේ යන මටනම් ජීවිතේ ලබපූ අපූරුම සුන්දරම අත්දැකීමක් ලෙස මගේ මතක පොතේ උඩින්ම ලියැවේවි.

මම රෝන්දේ යන කෙල්ල UD

සටහන සහ ඡායාරූප : දිළිණි උදාරි

508total visits,3visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *