ටජ්මහලටත් පණ දුන්න ලංකාවේ රෝස තිරුවානා

මතු බුදුවන මෛත්‍රී බුදුන් බුදුවනුයේ නා ගසක් පෙරටු කරගෙන බවට මතයක් පවතින බැවින් උන් වහන්සේ සිහිවනු වස් දේවානම්පියතිස්ස රජ සමයේ වැරදි කරනවුන් පුනුරුත්ථාපනය කරන ස්ථානයක දියත් කරන ලද වැඩසටහන් මාලාවක එක් පියවරක් ලෙස නා ගස් වැවීම නියම කර ඇත.

කොළඹ අනුරාධපුර මාර්ගයේ පැමිණ මඩාටුගම හන්දියෙන් ආඬියාගල පාරේ කිලෝමීටර් හතක් පමණ ගමන් කර මහා ඉඳිගොල්ලෑව වැව, දිග් ඇන්නෑව වැව , රණාව වැව , ඉබ්බන්කටුව වැව හා කලා වැවෙන් වටවී තිබෙන සශ්‍රීක බිමක් වූ ගල්කිරියාගම ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ස්ථානය වර්තමානයේ ” ජාතික නා මල් උයන ” ලෙස නම් කර ඇත.

මෙය ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය වන අතර මෙහි ඇති ඓතිහාසික වැදගත්කම , ජෛව විවිධත්වය සහ භූගෝලීය වශයෙන් කැපීපෙනෙන ලක්ෂණ නිසා සුවිශේෂී වූ සංරක්ෂිත භූමියක් ලෙස නම් කොට ඇත. අක්කර 260 ක් පුරා විහිදී ඇති නා ගස් ගහණයත් අක්කර 105 ක භූමි ප්‍රමාණයක විහිදී ඇති වසර මිලියන 500ක ඉතිහාසයකට හිමිකම් කියන කඳුවැටි හතකින් සැදුම්ලත් දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ කඳුපන්තිය හේතුවෙන් ලෝකය පුරා සංචාරකයින්ගේ ආකර්ශණයට මෙම ස්ථානය පත් වී ඇත. නා මල් උයනට ඇතුළ්වීමත් සමඟ සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු බෙදුණු විශාල කඳන් සහිත නා ශාක දකින්නට ලැබෙන අතර අඩි හැටක නා ගස්ද ,වසර 1500 ක් තරම් පැරණි නා ගස්ද දැකිය හැක. ප්‍රධාන වශයෙන් නා විශේෂ 2ක් වනය තුළ ඇති අතර ඒවා “දිය නා” හා ” බටු නා” නම් වේ. නා උයනේ සුන්ඳරත්වය මැනවින් විඳීමට නම් අප්‍රේල් මස සිට ජූනි මාසය දක්වා අතර තුර කාලය වඩාත් සුදුසු වේ. තවද මෙහි ඝර්ම කලාපීය ශාක විශේෂ 108 ක් , පැළැටි 82ක් , විවිධ ක්ෂීරපායි සතුන් , විෂකුරු සර්පයන් ,සමනළ විශේෂ , කෘමි විශේෂ , ඖෂධීය ශාක ද හඳුනා ගත හැක. නා මල් උයනේ අසිරිය තවත් වැඩි කරනුයේ රෝස තිරුවාණා නිධියයි. මෙම තිරිවාණ නිධිය තුළ ” ආගනේය ” නම් පාෂාණ විශේෂය ඇති බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව රෝස තිරිවාණ වලින් නිපැයූ පබළු හමු වී ඇති අතර මෝගල් අධිරාජ්‍යයාගේ පෙම්වතිය සිහිවීම සඳහා ඉදිකළ ටජ්මහල් මන්දිරයේ ජනෙල් අලංකාර කිරීමට මෙම රෝස තිරිවාණ යොදා ගෙන ඇත. පරිගණක අමතර කොටස් සහ වාහනවල වින්ඩ්ස්ක්‍රීන් සැකසීම මෙම රෝස තිරිවාණ යොදා ගෙන ඇත. නමුත් වර්තමානය වන විට කඳුවැටියේ පැහැය අවපැහැ වී ඇති අතර ඊට හේතු ලෙස නිරන්තර පා ස්පර්ශයත් මතුපිට ස්ථරය ජීර්ණයට ලක් වී තිබීමත් , දැඩි සූර්‍ය තාපයට හා ජලයට ඉතා දිගු කාලයක් නිරාවරණයවී තිබීමත් දැක්විය හැකිය. මතුපිට ස්ථරය මෙසේ අවපැහැවී තිබුණත් අඩි 1ත් 2ත් අතර ස්ථරය දම් පැහැයෙන් යුක්ත බව සොයාගෙන ඇත.මෙම කඳු වැටිය බැලූ බැල්මට ලුණු කන්දක් සේ පෙනෙන බැවින් ගම් වාසීන් විසින් මෙය හඳුන්වන්නේ ලුණුගල් දෙබල ලෙසයි. මෙම නා වෘක්ෂ අභය භූමිය තුළ ඓතිහාසික තොරතුරු රාශියක් සැඟවී ඇති බව මෙහි ඇති නටබුන් වලින් මනාව පිළිඹිබුවේ. සඳකඩ පහණ, නා මල් සෑය , රෝස තිරුවාණ ගල් වලින් ඉදිකර ඇති බෝධිඝරය, පිළිම ගෙය , ආවාස ගෙය , ගල් කණු භාවිතා කරමින් තනා ඇති සීමා මාලකය , පට්ඨානඝරය ,ගල් පහණ , ආසනඝරය, බොරදම් යෙදූ කළුගලින් නිර්මාණය කරන ලද සක්මන් මළුව , පබ්බත විහාරය ආදී ස්ථාන එයට සාක්ෂි දරයි. දේවානම්පියතිස්ස රජු දවසේ සිට තුන්වන හා හතරවන දප්පුල රජවරුන් හා හතරවන කාශ්‍යප රජු රාජ්‍ය පාලන කාලය තුළ මෙම ස්ථානයේ විහාරයක් හා භාවනා මධ්‍යස්ථානයක් තිබූ බවට ලේඛනවල සඳහන් වේ. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක් වූ මෙම භූමියේ පොලිතීන් ප්ලාස්ටික් දමා දූෂණය නොකොට සතුන් හා ශාකවලට හානි නොකොට අනාගත පරපුරටත් මේ ආකාරයෙන් සුරැකීම පරිසර හිතකාමී ඔබගේ වගකීමයි.

සටහන සහ ඡායාරූප : දිළිණි උදාරි

602total visits,4visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *