දුම්බර කඳු අස්සෙන් මතු වුනු කහ කිරිල්ලි – පුර්ණා

නුවර මාරස්සන පැත්තේ ටිකක් ඈත කදු වලින් වට වුනු ගමක පුංචි දැරියක් හිටියා. අපි ඇයට පුර්ණා කියලා නම් තබමු. මේ පුංචි පුර්ණාගේ අම්මා චිත්‍ර ගුරුවරියක්. ඒ නිසාම වර්ණ සායම් සහ පින්සල් ඇයට අමුත්තක් වුනේ නැහැ. තමන්ගේ ඇස් වලට නිතරම පේන අහසේ වලාකුළු සිප ගන්න ලං වුනු කඳු මුදුන් මිටියාවත් ගහකොළ වගේ ම සොබා දහම එක්ක රටා මවන කුරුල්ලෝ සමනලුන් තමන්ට දැනෙන පෙනෙන වර්ණ එක්ක සිතුවමට නගන්න මේ පුංචි දැරිය ආස වෙනවා. සොබාදහම තමන්ගේ ජීවිතය කරගත්තු පුංචි පුර්ණා ලොකු වෙලා දවසක තමන්ගේම සාරි නිර්මාණ එකතුවක් එළි දක්වනවා. ඒ එක සාරියක් ඇය නම් කරන්නේ “ කහ කිරිල්ලි සාරිය “ නමින්. තමන්ගේ අතීත මතකයන්ට තවමත් ආදරේ කරන තමන්ගේ ආසාවන් එක්ක දුර ගමනක් ඇවිද යන ඇයගේ සම්පුර්ණ නම පුර්ණා ඩවුන්දසේකර. ඇයගේ ව්‍යාපාරයේ නම Essence of Craft. ඇය තමන්ගේ අතීතය වර්තමානය සහ අනාගතය ගැන වචන එකතු කරේ මෙහෙම. 

“ තමන් ආස දේ තමන්ගේ වෘත්තීය වුනේ නැති නම් මන් හිතන්නේ අපි කරන දෙයින් අපිට තෘප්තියක් නැහැ වගේම ආයතනයටත් අපෙන් වැඩක් නැහැ. මුලින්ම මන් මොරටුව විශ්ව විද්‍යාලයේ ෆැෂන් ඇන්ඩ් ටෙක්ස්ටයිල් පිළිබද උපාධිය අවසන් කරලා පෞද්ගලික ආයතන දෙකක වැඩ කරා.නමුත් ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කරද්දී තේරුම් ගත්තු දෙයක් තමයි මගේ කිසිම ඩිසයින් එකක් ඇතුලෙන් මාව එලියට එන්නේ නැහැ කියන එක. සමහර තැන් වලදී මට මගේ උපරිමය පෙන්වන්න හැකියාවක් තිබුනේ නැහැ. මන් ඉගෙන ගත්තු දේ ට වැඩිය මට කරන්න වුනේ වෙනස් විදියේ දේවල්. මට ආස විදියේ නිර්මාණ කරන්න මට එතැනදී හැකියාවක් තිබුනේ නැහැ. ඒ නිසා මන් තීරණය කරා මන් තවදුරටත් එතන සේවය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි තීරණය කරේ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඒ 2016 මුල් කාලයේ දී. රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර ඉදන් මන් තනියම නිර්මාණ කරන්න පටන් ගත්තා ඒ අතරතුරේදී මගේ සියා එක්ක එකතු වෙලා බිස්නස් ප්ලෑන් එකක් හැදුවා.. කොහොමද කරන්නේ කාට ද විකුනන්නේ වගේ දේවල් ටිකක් අපි හැදුවා. ඒ වගේම කඩවල් වල ඇවිද ඇවිද මිනිසුන්ගේ රුචිකත්වය ගැන පොඩි රිසර්ච් එකක් කරා.

ඒ වගේම තමන් හරියටම කරන්න යන දේ ගැන තමන්ට අවබෝධයක් තියෙන්න ඕනි. අපි කරන දෙයින් මිනිසුන්ට පරිසරයට හොද දෙයක් වෙන්න ඕනි. මට ඕනි වුනේත් අපේ සංස්කෘතිය රැකගෙන පරිසර හිතකාමී දෙයක් කරන්න. එහෙම නැතිව සංස්කෘතිය විනාස වෙන දෙයක් කරලා කොයි තරම් ජාත්‍යන්තර තලයකට ගියත් වැඩක් නැහැ.  මන් පුංචි කාලේ ඉදන් ම හෑන්ඩ් ලුම් බතික් නිර්මාණ වලට ආසයි. ඒ අනුව මට තමයි මන් දුම්බර සාරි ගැන අවධානය යොමු කරේ. මට අරමුණු දෙකක් තිබුනා. එකක් දුම්බර රටා දාපු අත් යන්ත්‍ර වලින් වියන රෙදි සාරි සහ අතින් වර්ණ ගන්වන ලද සාරි වල නියම වටිනාකම සාරය මිනිසුන්ට දෙන්න. අනිත් එක දුම්බර රටා පරාම්පරිකව කරන පවුල් තුනක් විතර තමයි දැන් ඉන්නේ. අපි මේකෙන් වැඩක් කරේ නැති නම් මේක නැති වෙලාම යයි. ඒ නිසා ඒ කලාව රැක ගන්නත් එයට ලංකාවේ වගේම ලෝකයේ තැනක් හදන්නත් මට ඕනි වුනා. මගේ මුලික අරමුණු ඒවා වුනු නිසා මට මේක කරන්න බැරි වෙයි කියලා වැටෙන හැම වෙලේකම මන් ඒ ආයේත් මගේ අරමුණ සිහිපත් කර ගෙන නැගිට්ටා. මන් මේක ව්‍යාපාරයක් විදියට එළියට දුන්නේ 2016 සැප්තැම්බර් වල.

ලෝන්ච් කරන්න මාස දෙකක් වගේ තියලා මන් ආයෙත් රැකියාවට ගියා. ඒ රැකියාවෙන් ලැබුණු මුදල් වලින් තමයි ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය මුලික වියදම් හදා ගත්තේ. මන් කවදාවත් බෑන්ක් ලෝන් ගත්තේ නැහැ. මන් මගේ මුල්ම නිර්මාණ එකතුව එලි දක්වලා සති දෙකක් යද්දී සේරම ටික විකුණුනා . එයින් ලැබුණු ආදායමෙන් තමයි වෙබ් සයිට් එක හදන දේවල් වගේ අනිත් වියදම් ටික හදා ගත්තේ. නමුත් පලවෙනි එකට තිබුණු ඉල්ලුම දෙවෙනි එකට නැති වෙන්න පුළුවන්. මේක වර්ණ සහ කලාව එක්ක යන දෙයක්. නිර්මාණයෙන් නිර්මාණයට වෙනස්. නමුත් ඒ හැම අත්දැකීමකින් තමයි අපි ඉගෙන ගන්නේ.කොයි දේ වුනත් තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි. මන් තව රස්සාවක් කරන ගමන් තමයි මේක කරේ. එතකොට කාලය කළමනාකරණය කර ගන්න එක ලොකු ප්‍රශ්නයක් වුනා. කොළඹ ඉදන් නුවර ගිහින් පැයක් දෙකක් විතර නිදා ගෙන රෑ එලි වෙනකම් වැඩ කරනවා. වර්ණ ගන්වනවා. ආයේ සදුදාට වැඩට එද්දී මගේ අත් දෙක ඩයි වලින් කළුම කළු පාටයි. නමුත් මන් කරන ක්ෂේත්‍රයට ආදරේ කරපු නිසා උපරිමයෙන් කැප වෙලා දිගටම වැඩ කරා. ව්‍යාපාරය මිනිස්සු අතරට ගෙනියන්න මට මගේ යාළුවො ගොඩක් උදව් කරා. ඒ වගේම බිස්නස් තිබුණු අය ව්‍යාපාරය ගැන මට උපදෙස් දුන්නා.

දැන් පටන් අරගෙන අවුරුදු දෙකක්. දැන් සාරි වගේ ටීෂර්ට් නිර්මාණත් කරනවා. සාමාන්‍යයෙන් මිනිස්සු අදින්නේ තමන්ට පහසු දේවල්. මන් දකින්නේ ෆැෂන් කියන්නේ කෙනෙක්ව පේන විදියම නෙවෙයි. ඒ ඇදුම එක්ක තමන්ට තමන් දැනෙන විදිය. මගේ මුලික සංකල්පය ඒක. ඉදිරියටත් මිනිස්සුට සහ සොබාදහම හිතකාමී විදියට මගේ ව්‍යපාරය ඉදිරියට ගෙනියනවා. තනියම කරන නිසා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. නමුත් මගේ නිර්මාණ එලියට ඇවිත් මිනිස්සු අතරට යද්දී පුදුම සතුටක් දැනෙන්නේ. මන් දකින්නේ ජීවිතය තියෙන්නේ ඒ සතුට එක්ක.

අරුණි කළුපහන

467total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *