මහනුවර අහසට විහිදෙන අධිමාත්‍රා – A melodic overdose

 Face book හී සැරිසරන ඔබට මේ දිනවල වැඩිපුර Share වෙන Event එකක් ගැන කියන්නයි මේ අපගේ සූදානම. ජූනි 2 මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ සවස 6 ට පැවැත්වීමට නියමිත Spiral Event ආයතන විසින් සංවිධානය කරන “අධිමාත්‍රා A melodic overdose ” සංගීත ප්‍රසංගය ගැන කතා කරන්නට Shades of Lotus අපි එහි ප්‍රධාන සංවිධායක ගීත් අංජන විජේසේකර සම්බන්ධ කරගත්තා.
  • ඉතිං ගීත් අපිට කියන්නකෝ මොකක්ද මේ “අධිමාත්‍රා” කියන්නේ ?

 අධිමාත්‍රා කියන්නේ දැනට පවතින ජනප්‍රිය රැල්ලෙන් මිදිලා සංගීතය වෙනස්ම ආරයකට විඳින්න පුළුවන් අළුත්ම විදිහේ සංගීත ප්‍රසංගයක්. එම වෙනස සංගීත රසාස්වාදය ඔස්සේ අධිමාත්‍රාවකින් ශ්‍රාවකයන් අතරට ගෙන යාම අරමුණු කරගෙන ” අධිමාත්‍රා A melodic overdose ” ලෙස අපි මෙම ප්‍රසංගය නම් කරනවා. 

  • මෙවැනි ප්‍රසංගයක් මහනුවර ප්‍රදේශයේ තියන්න තීරණය කළේ ඇයි?

මෑත කාලීනව මහනුවර ප්‍රදේශයේ විවිධ සංගීත ප්‍රසංග පැවැත්වූවා. නමුත් අපිට එකම සංගීතඥයින් පිරිසක් තමයි දකින්නට ලැබුණේ. නමුත් තවත් අති දක්ෂ සංගීතවේදීන් සිටිනවා ප්‍රසංගවලට සහභාගි නොවුණත් රසිකයින්ගේ ආදරය ආකර්ශණය දිනාගත් අය. උදාහරණ ලෙස සේනක බටගොඩ , සචින්ත පුලස්ති, ඉසුරු මෙනේරිපිටිය වගේ අයගේ ගීතවලට බොහෝදෙනා ආදරය කරනවා. නමුත් ඔවුන්ගේ සජීවී ඉදිරිපත් කිරීම් දකින්නට අවස්ථාවක් ජනතාවට ලැබී නැහැ. ඒ නිසා අපි හිතුවා මිහිඳු ආරියරත්න , ඉන්ද්‍රචාප ලියනගේ යන ජනප්‍රිය ගායකයින් සමඟ එකම වේදිකාවකට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන සේනක බටගොඩ  ක්ෂේත්‍රයේ අති දක්ෂයින් වන සචින්ත පුලස්ති හා ඉසුරු මෙනේරිපිටිය ගෙන්නලා ඔවුන්ගේ රසිකයින්ව සංගීතයේ අධිමාත්‍රාව කරා ගෙනයන්න. 

  • අධිමාත්‍රා යුග තුනක ඒකාකෘතියක් ලෙස ඔබ හඳුන්වන්නේ ඇයි?

90 දශකයේ සිට තාමත් ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වය නොනැසී පවතින ගීතවලට උරුමකම් කියන සේනක බටගොඩ මහතාත් 2000 දශකයේ සිට මේ දක්වා රොක් ගායන ශෛලියෙන් ජනප්‍රියත්වයට පත්වූ ඉන්ද්‍රචාප ලියනගේත් 2010 සිට මේ දක්වා කාල පරාසයේ තාරුණ්‍යයේ අතිශය ජනප්‍රිය මිහිඳු ආරියරත්නත් ක්ෂේත්‍රයේ වෙනස්ම දක්ෂතාවන්ගෙන් තමන්ගේ අනන්‍යතාවක් සකසාගෙන ඉදිරියට ආ සචින්ත පුලස්ති හා ඉසුරු මෙනේරිපිටිය මේ සඳහා සහභාගිවීම යුග තුනක ඒකාකෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉසුරු මෙනේරිපිටිය ඒක පුද්ගලයෙක් ලෙස වේදිකාවේ ගයන පළමු ප්‍රසංගය. ප්‍රසංග වේදිකාවට නවකයෙක් වූවත් ඔහුගේ ගීතවල තිබූ විශේෂ විභවතාවය හා ඔහුගේ ගීතවල ඇති වෙනස්ම ආරය මෙයට හේතු වුණා. දැනටමත් ඔහු විසින් නිර්මාණය කර ඇති ගීත ඉතා විශිෂ්ඨ ගණයේ පවතිනවා. එම ගීත ඇගයීමකට ලක්විය යුතුයි කියලයි අපි හිතන්නේ. ඉතිං එවැනි කලාකරුවෙක්ට ඉදිරියට යන්න අවස්ථාවක් සලසා දීමේ අරමුණින් තමයි අපි ඉසුරුව මෙම ප්‍රසංගයට සහභාගි කරගන්න හිතුවේ. සචින්ත පුලස්තිත් නිතර ප්‍රසංගවල දක්නට ලැබෙන ගායකයෙක් නෙවෙයි. ප්‍රථමවරට තමයි මහනුවර ප්‍රසංගයකට සහභාගි වන්නේ.සචින්තගේ වෙනස්ම විදිහේ අලුත්ම ගීත කිහිපයක් ප්‍රථමවරට අධිමාත්‍රා වේදීකාවේදී එළි දැක්වේවී

  • සේනක බටගොඩ කියන්නේ ප්‍රසංග වේදිකාවේ කලාතුරකිනින් දකින්නට ලැබෙන ගායකයෙක්. ඉතිං අධි මාත්‍රා සඳහා ඔහුගෙන් ලැබෙන සහය කොයි වගේද?

සේනක බටගොඩයන් බොහෝම කැමැත්තෙන් සහ උනන්දුවෙන් තමයි මෙම ප්‍රසංගයට සහභාගිවන්නේ. මහනුවර ප්‍රදේශයේ පැවත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගි වන්නට ඔහු ආසවෙන් හිටියේ. බොහෝ ප්‍රසංග වාණිජකරණය වී ඇති නිසා ඔහු එම ආරාධනා ප්‍රතික්ෂේප කරනවා.නමුත් අපගේ අරමුණ සංගීතමය වශයෙන් ශ්‍රාවකයින්ගේ මනසට නිදහසක් ලබාදීම යන කාරණාව නිසාත් සංගීත ප්‍රසංගය පිළිබඳ පැහැදීම හා අවබෝධය නිසාත් ඔහු අපගේ ආරාධනාව පිළිගත්තා.

  •  ලංකාවේ නැඟීගෙන එන සංගීත කණ්ඩායමක් ලෙස Wings හඳුන්වන්න පුළුවන්. ඒවගේම නවක සංගීත කණ්ඩායමක් ලෙස Silence of Loud හඳුන්වන්න පුළුවන්. මෙම ප්‍රසංගයේ ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද ? 

විශේෂයෙන් මතක් කරන්න ඕනි Wings කණ්ඩායමේ සාලියා සහ රංග යන සහෝදරයන්ව. ඔවුන් අපිට මෙම කටයුත්ත සඳහා විශාල සහයක් ලබා දෙනවා. ඔවුන් ඉතා කැපවීමෙන් මේ දිනවල පුහුණුවීම් කටයුතුවල නියැලෙනවා. ඔවුනට අවශ්‍ය ලංකාවේ විශිෂ්ඨතම සංගීත රාත්‍රිය අධිමාත්‍රා ප්‍රසංගය තුළින් ඉදිරිපත් කරන්න. Silence of Loud කියන්නේ මහනුවර ප්‍රධාන පාසල් කිහිපයක සිසුන් එකතුවී නිර්මාණ කරගත් සංගීත කණ්ඩායමක්. සචිත්‍ර ජයවික්‍රම , අශේන් සඳරු , සජිත් ශ්‍රී , කවීන් හර්ෂණ, චානක චන්ද්‍රසිරි ඇතුළු පිරිස Silence of Loud නමින් අධි මාත්‍රා ප්‍රසංගය වෙනස් ආරයකට රැගෙන යාවි.

  • අධි මාත්‍රා ප්‍රසංගය පවත්වන්න මූලිකවම හේතු වූ කරුණ මොකක්ද ?

මහනුවර නඟරයේ වීදි දරුවන් ඉගෙනගනු ලබන කැප්පෙටිපොළ විද්‍යාලයේ කටයුතු වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ගැනීමේ අරමුණින් තමයි අපි මෙම ප්‍රසංගය මේ විදිහට කරන්න හිතුවෙ. මෙම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම අපි ඒ වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා ගීත් විජේසේකර , අවන්ත කරුණානායක , සංජීව බණ්ඩාර යන අපි තිදෙනා එකතුවෙලා පටන් ගත්ත Event Management ආයතනය තමයි Spiral Events කියන්නේ. ඉතිං අපේ පළවෙනි Event එක තමයි ” අධි මාත්‍රා ” . කියන්න සතුටුයි මේ වන විට විශාල ප්‍රතිචාර රැසක් කොළඹ , රත්නපුර, කුරුණෑගල , හම්බන්තොට යන ප්‍රදේශ ඇතුළු ලංකාව සිව්දෙසින් ගලාගෙන එනවා. විශේෂයෙන්ම මහනුවර නඟරයේ පැවැත්වෙන ප්‍රසංගයක් නරඹන්න පිට පළාත් වලින් වැඩිම පිරිසක් පැමිණෙන ප්‍රසංගය මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. සමාජ ජාල වෙබ් අඩවි හරහා ලැබෙන ප්‍රතිචාරද ඉතා විශාලයි. 

  • මෙම ප්‍රසංගය සඳහා පැමිණෙන්නට බලාපොරොත්තු වෙන අය ටිකට්පත් මිලදී ගතයුත්තේ කොහෙන්ද?

KCC පරිශ්‍රයේ A Picture ආයතනය , Cafe the Vibe , සීවලී පොත්හල , පේරාදෙණිය පාරේ මංගල Tex ආයතනය, ගම්පොළ දවස පියස යන ස්ථානය වලින් මෙන්ම tickets.lk හරහාත් එදින දොරටුවෙනුත් ටිකට් පත් මිලදී ගන්න පුළුවන්.

ඉතිං ඔබත් හිරවෙල නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ එක රෑනට ඉඟිලිලා එන්න ජූනි 02 සවස 6 වෙද්දි මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයට , සංගීතයේ අධිමාත්‍රාව සැනසිල්ලේ විඳින්නට.

කතාබහ සහ සටහන : දිළිණි උදාරි දිසානායක 

389total visits,2visits today

1 thought on “මහනුවර අහසට විහිදෙන අධිමාත්‍රා – A melodic overdose

Leave a Reply

Your email address will not be published. Required fields are marked *