හිතේ ගැඹුරේ නිදා නොනිදන ප්‍රේමයක්

මටත් තිබුනා ප්‍රේමයක්
තාම ඉදහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මට තිබුණා ප්‍රේමයක්..

කුළුදුලේ හිත හීන හැඩකල
මතකයේ සිව් කොනම දගකල
නිදි නැතුව රැය ගණන් එළිකල
මටත් තිබුනා ප්‍රේමයක්..
කුළුදුලේ පිපී ප්‍රේමයක්..

හීන් හඩින් වාදනය වෙමින් තිබුණු ගීත අස්සෙන් චන්දන ලියනාරච්චිගේ ගැඹුරු හඬ දුර කල්පනාවක හිටපු මගේ හිත එකවර අල්ලගත්තා. කල්පනාව තිබුනෙත් බොහොම දුර ඈතක වුනත් හිත රිදුනු තැනක. සෑහෙන පරණ  අමතක කරන්න බැරි මතකයක. රිදුනු මතකය තවත් රිද්දන්න ඒ හඬට පුළුවන් වුනා. කාලෙකට කලින් දවසක තලවකැලේ ඉදන් ආපහු එනකොට ඇහුණු මේ සින්දුවම මාව හොදටම හඬවපු හැටි , පාන්දර තුනට විතර කට්ට කළුවරේ ජනෙල් වීදුරුවට කම්මුල් හේත්තු කරගෙන හොදට හඬා වැටුණු හැටි ඒ පරිසරය ඒ සීතල කටුක හැගීම එකක්ම ආයේ ආයෙත් වින්දනය කරන්න ඒ හඬ ඒ තනු එක්ක මට පුළුවන්.. 

හැමදේටම හේතුවුණු හැමදේම වෙනස් වුනේ මගේ එක වචන පේළියකින්. පොඩි හිත් රිදුමකටත් හඬා වැටෙන්නට තරම් මන් ඒ දවස් වල ගොඩක් අහිංසකව හිටියා. එදාත් හිත අස්සේ පෙරළි කරපු වචන ගොඩක් කියාගන්න විදියක් නැතිව ඇස් වලින් කතා කරා. 

” අම්මේ මං චේතියට ආදරෙයි.. අම්මට බැරි ද ඒකට කැමති වෙන්න.. ” 

අසුරු සැණින් ලෝකය වෙනස් වෙනවා නම් එදා එතැන තමා ටර්නින් පොයින්ට් එක. 

” බෞද්ධ මිනිහෙක්ව කසාද බදින්න ? මිනිස්සු නැතිවට ? උඹට පිස්සු ද දරුවෝ ? ඊටත් වඩා අච්චර දුර ඉන්න මිනිහෙක්.. අනික සංකල්පට වැඩිය හොද මිනිහෙක් ? විකාර.. ” 

කතාව එතනින් ඉවරයි.. රූකඩයක් වගේ එක තැනක එක දිශාවක් දිහාවේ මං බලාගෙන ඉද්දි ලෝකය වේගයෙන් කැරකුනා. අන්තිමට මං රෙජිස්ටාර් ඉස්සරහ. විවාහ සහතිකේ අත්සන් කරද්දී පැන අල්ලගන්න බැරිව  අත වෙවුලුවේ චකිතයට නෙවෙයි. ඔහු මතක් වෙලා දුකට. විවාහ පොරොන්දු දෙද්දී අම්මා දිහාවේ ම හැරී හැරී බැලුවේ තීරණය දැන්වත් වෙනස් කරගන්න පුළුවන් වෙයි ද කියලවත් ඒ මුණෙන් කියවගන්න.. කිසිම දෙයක් වෙනස් වුනේ නැහැ කාලය ගෙවුණා විතරයි. 

” මං බයේ හිටියේ මනමාලි මේ දැන් කසාදෙ නවත්තලා දුවයි ද කියලා.. ඒ තරම් මේ දරුවා වෙවුලුවා. “

විවාහයෙන් අනතුරුව රෙජිස්ටාර් තැන කියද්දී අඩන්න බැරි තැන හිනාවුණා.

” උඹ ඒ මනුස්සයාට ආදරේ කරන්නේ නැහැ නංගි.. මං ඒක දන්නවා. ඒ උඹේ මිනිහා.. ඒ ගරුත්වයවත් ඒ මනුස්සයට දීපන්.. ” 

අයියා එහෙම කිව්වා. ඒත් මල් පැලයක් වුනත් නිස්සාර පොළවක පැළ කරොත් ආයෙත් මල් පිපෙන්නේ කොහොමද 

මධුසමයට යන හැම දුවෙක් ම අම්මාව බදාගෙන අඩනවා. ඒත් මට එහෙම කරන්න ඕනි වුනේ නැහැ. ඒත් ජිවිතේ එච්චර කල් නොතිබුණු අමුතු හයියක් මට දැනුනා. අහිංසකකම පෑල දොරින් පැනලා ගියා කියලා දැනුනා. 

” අම්මේ, අපි නුවරඑළියට ගියාම සීතා අම්මාන් යනවාලු.. අම්මා දන්නවා ද මං සිතා අම්මාන් යන්න හීන දැක්කේ චේතිය එක්ක. ඒත් අද මං අම්මට ඕනි කෙනා එක්ක සීතා අම්මාන් යනවා.. ආදරේ නොකරන, සීතා මෑණියන්ව විශ්වාස නොකරන කෙනෙක් එක්ක, ඒත් ආදරේට ආශිර්වාද ඉල්ලගන්න.. මගේ හැම කවියක් ම මට හිනා වෙනවා අම්මේ.. මං හරි ම පව් කියලා අම්මට දවසක හිතෙයි..  හැබැයි එදාට අම්මත් පරක්කු වැඩියි.. ” 

ඇඩුවේ නැහැ.. ඒත් හිතක් නැහැ වගේ එහෙම කියද්දී අම්මා නිරුත්තර වෙලා මං දිහාවේ බලා හිටියා. සීතා අම්මාන් කෝවිලේ පිටිපස්සෙන් වේගෙන් ගලාගෙන යන ඇල පාර දිහාවේ බලාගෙන මං ඇඩුවා. නොසෑහෙන්න ඇඩුවා.

” මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.. “

” අමා, උඹ මගේ කසාද ගෑනි.. ” 

” කොළ කෑල්ලකට විතරයි.. ” 

කසාද ජිවිතේ දෙදරන්න පැය විසි හතරක්වත් ගියේ නැහැ. ආයෙත් අම්මාටයි මටයි ගැටෙන්න හේතුවක් තිබුණා.

” මං ආදරේ නොකරන මිනිහෙක් මගේ ඇගට අතක් තියෙනවාට මං කැමති නැහැ.. “

” ඒ උඹේ කසාද මිනිහා.. ” 

” ඒ අම්මා මාව ඒ මිනිහාට බන්දපු නිසා.. අම්මා කිව්ව දේ මං කරා.. දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියන්න.. “

ජිවිතේ  එතැනින් එහාට ගලාගෙන ගියා. කවදාවත් බියර් කෑන් එකක් අතින් ඇල්ලුවේ නැති මම, බියර් බොනවා කියලා ඉස්සර චේතිය එක්ක රණ්ඩු කරපු මම, ආපහු එනකම් ම බියර් කෑන් එකින් එකට හිස්  කරලා දැම්ම හැටියට සංකල්පටත් මාව එපා වෙලා ම යන්න ඇති. 

එතැනින් පටන් ගත්තු පවුල් ජිවිතේ අස්සේ රණ්ඩු සරුවල් හිත් රිදුම් ලෝකෙට පෙන්න මවා පෑම් සෑහෙන්න තිබුණා. ඒ වගේම ලෝකේට පෙන්න හිනාවෙලා ආදරෙන් බදාගෙන ගත්තු රාමු කරපු පින්තුර සෑහෙන්න බිත්තියේ එල්ලුණා. රහසේ ගලා ගිය මතකයක කඳුළු අනන්තවත් තිබුණා.

” අමා තමුසේ මහා හිතක් පපුවක් නැති ගෑණියෙක්.. මනුස්සකමක් ගෑවිලාත් නැහැ.. තමුසේ සංකල්පගේ ජිවිතේ විනාස කරනවා.. තමුසේ වගේ නපුරු ගෑණියෙක් මගේ ජිවිතේට මං දැක්කේ නැහැ.. ” 

මගේ සැමියාගේ පෙම්වතියක් එහෙම කියද්දීත් මගේ මුණේ තියෙන්න ඇත්තේ සමච්චල් හිනාවක් විතරක් ම වෙන්න ඇති.. ජිවිතේ හැටි එහෙමයි කියලා හිත හදා ගන්න තරම් අවුරුදු විසි දෙකක ජිවිතේට මං ජිවිතේ ප්‍රගුණ කරලා තිබුනේ නැහැ. ඒත් කාත් කවුරුත් නැති බිත්ති හතරක් අස්සේ කාටවත් නොකියා ජිවිතේ විද දරා ගන්න මට පුළුවන් වුනා.

මට මතක් වුනේ මංජුල වෙඩිවර්ධනගේ කවියක්. ඇහැල ඇමතුමකට ඇහැරෙමි පොතේ තිබුන ඒ පද හතර මගේ හිත කොයිතරම් අල්ලගත්තා ද කිව්වොත් නිතර භාවිතා වෙන පොතක මුල් පිටුවේ තවමත් ඒ කවියේ පේන්න තියෙනවා. 

” දුමක් මිස හිත නිවා සනහන 

පෙමක් නැත හිත ගාව හිනැහෙන 

දුකක් බව දැනෙන විට කවිය ද 

කොතෙක් නම් රිදෙන්න ද හදවත.. ” 

වෙඩිවර්ධන දන්නවා නම් ඒ වචනයක් ගානේ මගේ ජිවිතේට කොයි තරම් සමීප ද කියලා.. මට මොහොතකට හිතුණා.

ටැටූ, තමන්ගේ සිරුර වේදනාවකට ලක් කරලා රිද්දවා ගැනීම.. මගේ පලමු තෝරා ගැනීම තිබුණේ එතැන. හැම ටැටූ එකක් පිටිපස්සේ ම දරා ගන්න බැරි වේදනාවක සුවපත් කිරීමක් තිබුණා. ගැහැණු පිටක් දිගේ විහිදුනු ඒ ටැටූ රටා දකිද්දී සංකල්ප කෝපයෙන් වෙවුලුවා. ඊලග තෝරාගැනීම අස්සක් මුල්ලක් ගානේ ඇවිදින්න යන එක. ඒත් අත්තටු කපලා ඉක්මනින්ම ආයෙත් ගේ ඇතුලට හිර කරන්න සංකල්පට පුළුවන් වුණා.

ජිවිතේ නිස්සාර හැගීම් වලට බියර් කෑන් පිටින් හිස් කරලා මට ලබාගන්න දෙයක් තිබුනේ නැහැ. ඒත් රත්නපුරේට කිට්ටු තැනක පාර අයිනේ නතර වෙලා සීතල විදින ගමන් නයිට් කඩේකින් කෝපි එකක් අරගෙන බොන්න, ඒ ගමන් කාරෙකේ දොර ඇරගෙන ඉදන් සිගරට් එකක් බොන්න මට පුළුවන් වුනා.

සංකල්පත් කාගේ හරි තුරුලක සැනසෙනවා ඇති. එහෙමත් නැත්තම් කොහේ හරි මධු විතක සැනහෙනවා ඇති. මට අමුතුවෙන් හිතන්න ඕනි වුනේ නැහැ. ඒ ඒක එහෙම වුන නිසා.

සිගරට් දුම අස්සේ හුස්ම හිර වෙද්දී ඇස් වලට කඳුළු පිරෙද්දී අමාරුවෙන් ඊලඟ සිගරට් උගුර අරගන්න මං උත්සාහ කරා. අප්පච්චිගේ නිර්මාංශ, අහිංසක, සන්සුන් දෝණි අගාධයට යන හැටි අප්පච්චි දැක්කේ නැතිවට අප්පච්චිට දැනෙන්න ඇති. ඒ නිසාම ” ඌ මිනිහෙක් නෙවෙයි.. පිස්සෙක්.. ඔයා ගෙදර එන්න පුතේ.. ” කියලා අප්පච්චි කෙටි පණිවිඩ එවන්න ඇති. ඒත් දුකම අස්සේ ගිලිලා මැරෙන්න මිසක් ආපහු හැරිලා මොනවා කරන්න ද මට අනන්තවත් හිතුණා.

” මං චේතියට කතා කරා.. ” 

කියාරා මගේ ගමන් සගයා වගේ ජිවිතේට හිටපු එකම යාලුවා දවසක් එහෙම කිව්වා. කවදාවත් අහන්න බලාපොරොත්තු නොවුණු ඒ වචන පේළියෙන් මට කෝපයකුත් කුතුහලයකුත් දැනුනා.

” ඇයි ? “

” උඹ දුක්විදිනවා බලන්න බැරි නිසා.. ” 

” ඒකට චේතිය මොනවා කරන්න ද ? ” 

” උඹ ආදරේ කරේ චේතියට. ඒකයි මන් ඌට කතා කරේ. හැබැයි උඹ ඌට ආයෙත් ආදරේ නොකරාට කමක් නැහැ. ” 

” ඇයි ? ” 

” උන් ඔක්කොම අවස්ථාවාදී පිරිමි.. ගෑනුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන නරුමයෝ.. ” 

” ඇයි චේතිය උඹට මොකද කරේ ? ” 

” අමාට ජිචිතේ දුකක් කර ගන්න තරම් මං බලාපොරොත්තු දුන්නේ නැහැ කිව්වා.. ” 

” චේතිය එහෙම කිව්වා ? ”  

කියාරා ගාව තිබුණු වොයිස් රෙකෝඩින් එක සාක්ෂි සැපයුවත් ඒ චේතියගේ හඬ කියන එක මට ඒ වෙලාවේ කම්පනයක් වුණා. චේතියගේ ආදරේ මං ඒ කාලේ ආගමක් වගේ ඇදහුවා. ඒ ආදරේ ඒ හැගීම් වලට මං ඇබ්බැහි වුනා. අර සින්දුවේ කියනවා වගේ.. චේතිය නිසා මට මාවම නැති වුණා. ආයෙත් කිසිම මිනිහෙක්ට දෙන්න තරම් ආදරයක් ඉතුරු නොවෙන තරමට මං ආදරේ කරා. ඒත් චේතිය එහෙම කිව්වා. මොනවා කරන්න ද ? දවසක් හරි ආදරේ කරපු මිනිහාට මාත් නරුමයෙක් අවස්ථාවාදියෙක් කියන්න ද ? චේතියගේ ආදරේ දැනුණේ මට. ඒ වචන අස්සේ කොයි තරම් ආදරයක් තිබුනා ද දන්නේ මම. ඒ ආදරේ අස්සේ කොයි තරම් රැක බලාගැනිල්ලක් තිබුන ද දන්නේ මම. චේතියට ආදරේ කරපු එක මෝඩකමක් වෙන්න ඇති. ඒත් එක දවසක් හරි මං ඒ ආදරේ ඇතුලේ ජිවත් වුනා. ඒ මතකේට පින් දෙනවා මිසක්. සාප කරන්න මට පුළුවන් වුනේ නැහැ. 

” උඹ චේතියට කතා කරපු එක වැරදි.. “

කියාරාට එහෙම කියලා මං නිහඩ වුණා. ඒත් එතැනින් පස්සේ ගෙවන හැම මිනිත්තුවක් ම ඒ වචන මට පිහි පාරකටත් වැඩියෙන් රිදුම් දුන්නා. ” බලාපොරොත්තු ?? එයා බලාපොරොත්තු වලට දෙන නිර්වචනය මොකක් ද ? කැම්පස් එකේ උගන්නන අප්පච්චි එනකම් ඕපන් එකේ ඉදගෙන මං පැය ගණන් හිතන්න ඇති.

” මං නිව්සිලන්ඩ් යන්න තීරණය කරා.. ඔයා මා එක්ක යන්න එනවා නම් කියන්න.. “

” කොච්චර කාලෙකට ද ? ” 

” සෑහෙන කාලෙකට.. ” 

” මං එන්නේ නැහැ ඔයා යන්න.. “

ගෙවුණු ජිවිතේ තවත් එක දවසක සංකල්පගේ තිරණයකට මං එහෙම කිව්වා. ඒ එක්කම මට ප්‍රශ්නයක් තිබුණා.

” කසාදෙට මොකද වෙන්නේ ? ” 

” මොනා වෙන්න ද ඒක එහෙම තිබුනාවේ.. ” 

” කිසිම තේරුමක් නැතිව ? ” 

” ඇයි දික්කසාද වෙලා උඹ වෙන මිනිහෙක්ව බදින්න ද ? ” 

” ඔයාටත් ආදරේ කරන අය ඉන්නවා. මං ආදරේ කරාම මොකද වෙන්නේ.. ? ” 

” මැරුම්කන්න තමා එහෙනම්.. ” 

” කාගෙන් ද ? “

” මගෙන් මගෙන්.. උඹ වෙන මිනිහෙක් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා ආරංචි වුනොත් කතා කරන්න එපා අමා මං කාගේවත් අහා අහා ඉන්නේ නැහැ උඹලා දෙන්නවම මරනවා. ” 

සංකල්පට තිබුනේ මං ගැන ලෝභකමක් නෙවෙයි තව පිරිමියෙක්ට පරදින්න බැරි කමක්. ජිවිතේ ගෙවුණු බොහෝ පරිච්ජේද වගේ ඒ පරිච්ජෙදයත් එහෙම ගෙවිලා ගියා. සංකල්පට බයේ ආදරේ නොකර ඉන්න මට ඕනි වුනේ නැහැ. ඒත් ආයේ කාටවත් දෙන්න ආදරයක් මගේ ළඟ තිබුනේ නැහැ. චේතියව අහම්බෙන් මග තොටේ දී දැක්කත් අහක බලාගෙන එන්න මං පුරුදු වුණා. චේතිය මාව දැක්ක ද කියලවත් හිතන්න මට ඕනි වුනේ නැහැ. ඒත් 154 බස් උවමනාවෙන්ම මග ඇරලා දැම්මේ ආයේ ආයේ දකින්න උවමනාවක් නොතිබ්බ නිසා. බලාපොරොත්තු කියන වචනේ මගේ හිතේ ගලක් වගේ රැදිලා තිබුණා කියන එක විතරක් මං මතක තියාගත්තේ මගේ හොදට.

ඉස්සර පුරුද්දට ගිහින් චේතියයි මායි අයිස් කොෆි බීපු බොරැල්ලේ අවන්හලට වෙලා මතකය රිද්දගන්න එක මට හුරුපුරුදු දෙයක් වුණා.  එහෙමත් දවසක එතනින් අල්ලපු වැටේ තිබුණු වීඅයිපී බාර් එකේ  හුරුපුරුදු මේසෙකට වෙලා බියර් එකක් බොන්නත් මට හයියක් තිබුණා. ඉස්සර චේතිය බියර් බොනකම් මන් කරේ කම්මුලකට අත තියාගෙන ඒ මුණ දිහාවේ බලාගෙන කියෝන එක. ඒත් චේතිය නැතිව යාබද අසුන හිස් ව තියෙද්දිත් තනියම බොන්න කෙල්ලෙක් විදියට මට පුළුවන් වුණා. 

සරසවියකට ගිහින් කියවන්න පොතක් අරන් එන්නත් තනිකමක් දැනුනු මොහොතක චිත්‍ර ප්‍රදර්ශන වේදිකා නාට්‍ය අස්සේ කරක් ගහන්නත් කියාරා මං එක්ක හිටියා. ඒත් ජිවිතේ මහා හිස්කමක් තිබුණා කියන එක මට ආයේ ආයෙත් ලියන්න ඕනි වුනේ නැහැ. දුර කල්පනාවකට ගිහින් අමතක කරන්න බැරි මතක එක්ක රැදිලා ආපහු එනවා මිසක් සිගරට් දුමක් අස්සේ හැංගිලා කකියන ඇස් වලට අරුතක් දෙනවා මිසක් ජිවිතයේ වේදනාව වින්දනය කරන්න වෙන විදියක් මං දැනගෙන හිටියේ නැහැ. සල්ලි වලට විතරක් හැමදේම ලියවුනු සංකල්ප කියන ව්‍ය්පාරිකයාගේ බිරිද කියන සමාජ නාම ඉස්සරහා හැමදේකින්ම සුවපත් වෙලා ලෝකෙට පේන්න ජිවත් වෙන්න ආසාවක් මට තිබුනෙත් නැහැ. 

කසාදෙන් මාසයක් ගෙවෙන්නත් කලින් දවසක සංකල්පගේ මල්ලි මට හරි අපුරු කතාවක් කිව්වා. 

” නිකම්ම නිකම් කොළ කෑල්ලක අත්සන් කරා කියලා අයියාගේ හැමදේම ඔයාගේ වෙයි කියලා ද ඔයා හිතං ඉන්නේ කියලා.. ” 

එදා මටත් වැඩිය සැහෙන්න බාල ඒ පොඩි එකා මට එහෙම කියද්දී මට හිනා ගියේ ඒ වචන වලට වැඩිය හැම දෙකටම සල්ලි වලින් මිලක් තියන්න යන ඒ මිනිස්සුන්ගේ ජිවිත ගැන. ඒත් අවුරුදු ගානක් පරිස්සම් කරලා අමාරුවෙන් ගොඩ නගා ගත්ත ජිවිතේ, චේතිය වගේ මනුස්සයෙක්ගේ ආදරේ, ඒ හැමදේම අහිමි කරගෙන තමයි මට එයාගේ අයියාට මගේ ජිවිතේ නිස්කාරනේ ලියලා දෙන්න වුනේ කියලා කියා ගන්න බැරි ව මං එදා හිතින් අරගල කරා.  ඒත් ආයෙත් ඒ දවසට යන්න පුළුවන් වුනා නම් සංකල්පට වැඩිය අර පරිස්සමෙන් මාව බලාගත්තු චේතිය ගැන හරි ආඩම්බරෙන් මට කියා දෙන්න තිබුණා. ඒ වගේම මෙහෙමත් කියන්න තිබුණා. 

” ඔයාගේ අයියා මොනවද මල්ලි ආදරේ ගැන දන්නේ.. ඔයාලගේ අයියාගේ සාක්කු අස්සේ වැතිරෙන සල්ලිත් කතා කරොත් කියයි චේතිය වගේ කෙනෙක් ගාව ඉන්න තිබුනා නම් කොයි තරම් සැනසීමක් ද කියලා..  ” 

ඒත් ආයෙත් නිස්සාර දේවල් පිටිපස්සේ යන්න මට ඕනි වුනේ නැහැ. සංකල්ප වගේම ආයේ ආවත් චේතිය මගේ ජිවිතේට ඕනිත් නැහැ කියලා මගේ හිත මට කිව්වා. අවස්ථාවාදී මිනිස්සු.. කියාරාගේ වචන හිත අස්සේ අවුරුදු ගානකට පස්සේ ආයෙත් දෝංකාර දුන්නා.

නෙත් සරින් නෙතුවලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතුව
මටත් තිබුනා ප්‍රේමයක්
අදත් නොමරුණු ප්‍රේමයක්..

වචනයක් වචනයක් ගානේ අරුතක් දුන්නු තත්පරයක් ගානේ හිත රිද්දපු චන්දන ලියනආරච්චිගේ සිංදුවකට අවුරුදු ගානක් තිස්සේ නොහඩා හිටපු මාව ආයෙත් අඩවන්න පුළුවන් වෙනවා නම් හිතේ රිදුම් දිය කර කර අලුත් කරන්න පුළුවන් වෙනවා නම් ඒක තාමත් නොමැරුණු ප්‍රේමයක් වෙන්න ඇති. සින්දුවේ අවසන් වචන ටිකත් වා තලයට එක් වෙද්දී  ඩන්හිල් එකක් අතේ තියාගෙන්  ලයිටරයක් හොයන ගමන් මට හිතුණා.

– අරුණි කළුපහන – 

525total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *