නීල වර්ණිත ආකාසයේ පෑයු තනි තරුවක්

රෑ අහසේ පායන තරු අපි අන්තවත් දකිනවා.තරු ගැන උදම් අනනවා.ඒත් නීල වර්ණිත ආකාසයේ පෑයු තරු අපි දකිනවාද? විඳිනවාද? ඔහු තරුවක් , සැබැවින්ම දක්ෂ තරුවක්.අලුත් තරු හොයගෙන යන අපි හැමෝම නොදත් මේ සැඟවුණු තරුව ගැන කතාබහ කරන්නයි සූදානම.ඔහු නමින් ඉසුරු මෙනේරිපිටිය.

  •  ඉසුරු මෙනේරිපිටිය කින්නේ කවුද?

සරල ජීවිතයක් ගතකරන කෙනෙක්.සංගීත ක්ෂේත්‍රයේ වැඩකටයුතු වල තමයි නිරත වෙලා ඉන්නේ.මුලින්ම Keyboard සහ ගිටාර් වාදකයෙක් විදිහට තමයි වැඩ පටන් ගන්නේ.ඉන් පසුව ගායකයෙක් වගේම සංගීත නිර්මාණ ශිල්පියෙකු විදිහට කටයුතු කරනවා. Rock Music වගේම Classical Music වලටත් කැමති. ඒ වගේම විවිධ රටවලට ආවේණික සංගීත ශෛලීන් යොදාගෙන නිර්මාණ කටයුතු කරනවා.

  •  මේ ක්ෂේත්‍රයේ ඔයාගේ ආරම්භය කොයිවගේද?

පුංචි කාලේ ඉදන් සංගීතයට ගොඩක් කැමැත්තක් තිබුණා.බාප්පා තමයි මුලින්ම සංගීතය ඉගැන්නුවේ.විශේෂ ගුරුවරයෙක් මුණගැසුණේ නැහැ.නමුත් මධුරංග අයියාගෙන් ලද සංගීතය පිළිබඳ මූලික දැනුමත් චමින්ද පෙරේරා මහතාගෙන් ලද ගුරුහරුකම් වලින් සංගීත දැනුම වැඩි දියුණුකර ගත්තා.

  •  කෙනෙක් යම් ක්ෂේත්‍රයකට එන විට එය අභියෝගාත්මක දෙයක්.එතෙක් මෙතෙක් ආ ගමනේ ඔබ ලබපු අභියෝග මොනවාද?

මුලින්ම පටන්ගැන්මේදී මම ළඟ සංගීත භාණ්ඩයක්වත් තිබුණේ නැහැ.සංගීත ගුරුවරයෙක් හිටියේ නැහැ.ආර්ථික අපහසුතා මධ්‍යයේ තමයි හැමදේම පටන් ගත්තේ.මම සංගීත ක්ෂේත්‍රයකට එනවාට අම්මාගේ මුලින්ම පුංචි අකමැත්තක් තිබුණත් පස්සේ මගේ උනන්දුව දැකලා අම්මායි තාත්තායි ගොඩක් උදව් කළා.මුලින්ම ඕගන් එකක් අරන් තමයි පුරුදු පුහුණුවීම් කළේ.කාලයක් ගියාට පස්සේ ගිටරයක් අරන් පුහුණුවීම් කළා.ඒත් ගුරුවරයෙක් නැති අඩුව මට ගොඩක් ලොකු අභියෝගයක් ලෙස දැණුනා.

  •  ඒ අභියෝගත් එක්ක ඔබ ලද ජයග්‍රහණයන් මොනවාද?

මගේ පළමු ගීතය වන ” සිනිඳු දෙතොලින්” ගීතය ජනතාව අතරට යෑම මම ලබපු එක් ජයග්‍රහණයක්.ඒකට ලොකුම හේතුව වුණේ ඒ කාලයේ ගීත ප්‍රචාරය කරන්න මාධ්‍ය ආයතන අපෙන් මුදල් අය කරේ නැහැ.ඒ වගේම ගීත වලට මාධ්‍ය ආයතන වලින් ඉල්ලුමක් තිබුණා.ඒ නිසා මාධ්‍ය ආයතන කිහිපයකම මගේ ගීතය ප්‍රචාරය වුණු නිසා ඉසුරු මෙනේරිපිටිය බොහෝ අය අඳුරගත්තා.ඒක මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් වුණා. 

  • ඒ කියන්නේ ඔබ ඔබේ පළමු ගීතයෙන් ජනප්‍රිය වුණා කියන එකද?

නැහැ ජනප්‍රිය වුණේ නැහැ.මාව එතෙක් දැනන් සිටියේ බොහොමයක් සුළු පිරිසක්.ඒ ගීතයත් සමඟ මගේ සංගීත ශෛලියට කැමති පිරිසක් මං වටේ එකතු වුණා .ඒක දැකලා ළහිරු මෙන්ඩිස් අයියා කතා කළා තවත් සිංදුවක් කරන්න. ඒ” නීල වර්ණිත” ගීතය.නදීක ගුරුගේ මහතාගේද සහයෝගය ඇතිව අපිට එම ගීතය නිර්මාණය කරන්න පුළුවන් වුණා.2015 දෙරණ Music Video Awards හීදි Best Concept සම්මානය “නීල වර්ණිත” ගීතයේ රූප රචනයට දිනාගැනීමට හැකි වුණා.

  • ඔබේ නිර්මාණයවලට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවාද ?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා.තවම නම් කවුරුත් විවේචනය කරලා නම් නැහැ.අගයකිරීම් තියෙනවා ගොඩක් දුරට.අඩුපාඩු පෙන්වලා ඒක විය යුතු ආකාරය පැහැදිලි කරලා දෙනවා.

  • ඔබත් එක්ක වැඩ කරන ක්ෂේත්‍රයේ අනෙකුත් අයගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද ?

ඇත්තටම මට එහෙන ප්‍රවීණයන්ගේ ඇසුර ලොකුවට ලැබිලා නැහැ.වයස් භේදයකින් තොරව ඉගෙන ගන්න පුළුවන් හැම කෙනාගෙන්ම ඉගෙන ගන්නවා.ක්ෂේත්‍රයේ දන්න කිහිප දෙනාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

  • රැල්ලට බිහිවෙන නිර්මාණ එක්ක සංගීත ක්ෂේත්‍රයේ පවතින දැඩි තරඟකාරීත්වයට ඉසුරු මෙනේරිපිටියට මුහුණ දීමට හැකියාවක් තියෙනවාද?

මම ඒක අදාළ කරගන්නේ නැහැ මගේ නිර්මාණවලට. මම මගේ නිර්මාණ කරන්නේ කවුරුත් කරන දෙයක් බලාගෙන ඒ වගේ කරොත් හොඳයි කියලා හිතාගෙන නෙවෙයි.මගේ හිතට එන අදහස් තමයි නිර්මාණයක් විදිහට එළියට දාන්නේ.ඒක ජනප්‍රිය වෙයිද ඒකට අනිත් අය කැමතිවෙයිද කියලා හිත හිත රැල්ල එක්ක තරඟ කරන්න මම නිර්මාණයන් කරන්නේ නැහැ.

  • ඔබ ඔබේ තෘප්තිය උදෙසා නිර්මාණයන් කරනවා කියලාද කියන්නේ?

ඔව් මුලින්ම මගේ නිර්මාණ මම රසවිඳින්න ඕනි.ඒක මට උපරිමයෙන් රස විඳින්න බැරුව මේකෙන් ගොඩයෑමක් තියෙවි මේකෙන් ජනප්‍රිය වෙන්න පුළුවන් වෙයි කියලා මම නිර්මාණයන් කරන්නේ නැහැ මම තෘප්තිමත් නම් තමයි එය නිර්මාණයක් ලෙස එළියට දෙන්නේ.රැල්ලට නොයන ගොඩක් නිර්මාණකරුවන් කරන්නෙත් ඒක තමයි.

  • දැනට පවතින තත්වය අනුව සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් ඇතිවිය යුතුයි කියලා ඔබ හිතනවා නම් නවකයෙක් විදිහට ඔබට දිය හැකි දායකත්වය මොනවගේද?

රැල්ලට නොයා එකම ශෛලියකට කොටු නොවී වෙනස් ආකාරයෙන් නිර්මාණ කරමින් අලුත් දෙයක් කරමින් උපරිම උත්සහ කරනවා දායකත්වයක් ලබාදෙන්න.

  • ගෙවා ආ දුෂ්කර ගමන් මගේ ඔබට සහයෝගය දුන් පිරිසක් ඇති මතක් කළ යුතුම.ඉතිං ඔවුන් ගැන සඳහනක් කළොත්?

මුලින්ම අම්මයි තාත්තායි ආදරෙන් මතක් කරනවා.ඒ වගේම සංගීත ක්ෂේත්‍රයට එන්න මට උදව් කරපු මගේ බාප්පා ගුරුහරුකම් දුන් චමින්ද පෙරේරා මහතා වගේම මධුරංග අයියාවත් මතක් කරනවා.මගේ පළවෙනි ගීතය වගේම දෙවෙනි ගීතයටත් සහයෝගය දුන් සරල , කීර්ති, හෂාන් මතක් කරනවා.ඒ වගේම මගේ දෙවෙනි ගීතයට මාව යොමුකළ ළහිරු මෙන්ඩිස් අයියාවත් මතක් කරනවා.ජීවීතේ අවස්ථාවලදී මගේම සහෝදරයෙක් වගේ මට ගොඩක් උදව් කරපු නිශාන්ත තල්පගේ අයියාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා.

  •  ආපු ගමන් මඟට වඩා ඔබට අනාගතයේ දිගු ගමනක් යන්න තියෙනවා.ඉතිං අනාගතයේ අපිට ඔබව කොයි විදිහට දකින්න ලැබේවිද?

ඉදිරියේදී වෙනස්ම විදිහට නිර්මාණය කළ ගීත කිහිපයක් එළිදකින්නට නියමිතයි.ඒ වගේම අලුත්ම චිත්‍රපටියකට සංගීත නිර්මාණ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

 කතාබහ සහ සටහන : දිළිණි උදාරි

398total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *