ගජමෑන් එක්ක රජ වැඩ කරන අනුෂ්ක

එළිදැක්වීමට නියමිත ලංකාවේ ප්‍රථම 3D සිනමා නිර්මාණය වන ගජමෑන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ලෙස අනුෂ්ක උදාන එක් වූ බව පසුගිය දවසක Shades of Lotus අපිට දැන ගැනීමට ලැබුණා. ඉතිං ඒ සම්බන්ධව අනුෂ්ක අපි එක්ක මේ විදියට අදහස් බෙදා ගත්තා.

  • ඉතිං අනුෂ්ක කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?

“කොරියාව” ගීතය නම් දැනටමත් FM Channel වල Play වෙනවා. TV Channel වලට දුන්නේ නැහැ. ඒ මේක YouTube සඳහා කරපු නිර්මාණයක් නිසා . ගීතයක් විදිහට සහ Episode එකක් විදිහට ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාර
තියෙනවා. තව අලුත් Episode එකක් දැම්මා ” වෙඩින් ඇලඩින් ” කියලා. ඒකත් YouTube Trending 1 බවට පත් වුණා. මේ දවස්වල Episode දාන්න පරක්කු වුණේ ළඟදී එන්න තියෙන ලංකාවේ පළමු 3D සිනමා නිර්මාණය වන ගජමෑන් චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂක ලෙස වැඩ කටයුතු කරන්න ලැබුණ නිසා. ඒකේ වැඩත් එක්ක මේ දවස්වල ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ. මීට කළින් මම චිත්‍රපටියක සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරලා නැහැ. මේ ලැබුණ අවස්ථාව මගේ ජීවිතේ ලොකු සන්ධිස්ථානයක්. ඒ නිසාවෙන්ම මේ දවස්වල මගේ 100% ක්ම දායකත්වය දීලා තියෙන්නේ ගජමෑන් චිත්‍රපටිය වෙනුවෙන්.

අනුෂ්ක
  • අනුෂ්ක උදාන රටේ මාධ්‍ය ආයතන තුලින් අසාධාරණයට ලක් වූ නිසාද තමන්ගේ හැකියාවන් පෙන්වීමට Social Media තෝරා ගත්තේ?

කාලයක් ලංකාවේ ගායකයන්ගෙන් මුදල් රැගෙන ඔවුන්ගේ ගීත මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන යුගයක් තිබුණා. ඉතිං මට මුදල් තිබුණේ නැහැ, මම කරපු නිර්මාණය මුදල් දීලා ප්‍රචාරය කරවන්න එතනදී මම ලොකු මානසික කඩා වැටීමකට ලක්වුණා. ඒ නිසා මම මගේ නිර්මාණ ඉදිරිපත් කරන්න YouTube සහ Facebook තෝරා ගත්තා. ඒ විකල්ප මාධ්‍යයක් විදිහට නම් නෙවෙයි. ඇත්තටම අද අපි මේ තැනට එන්න ලොකු කැප කිරීමක් කරා. මුලින්ම මම ජනප්‍රිය ගීත 18 ක් එකතු කරලා Mashup Video එකක් කරා. ඒක තමයි ලංකාවේ මුලින්ම Viral ගිය Mashup ගීතය. සතියකින් 500000ක් Views තිබුණා. අද 500000 ක views මම එක දවසින් ගත්තා වුණාට ඒ කාලේ සතියකින් ඒ ප්‍රමාණය ගත්තා කියන්නේ මට නම් ලොකු දෙයක්. ඉතින් මම දිගටම Social Media තෝරාගත්තේ මගේ නිර්මාණ සඳහා මට උපරිම නිදහසක් ලැබෙන නිසා.

  • වස්ති සැබවින්ම සම්ප්‍රදාය අතික්‍රමණය කරාද? 

ඒක තීරණය කරන එක ප්‍රේක්ෂකයන්ට භාරයි. ” වස්ති ” කියන්නේ බඩ විරේක කිරීමට යොදා ගන්නා ප්‍රතිකාරයක්. මුලදී මිනිස්සු මේ නම ගැන නැවත නැවත ප්‍රශ්න කරන්න පටන් ගත්තා. වස්ති කියන්නේ අසූචි සම්බන්ධ නමක් නිසා. ඒත් වස්ති කියන එක අද Brand එකක් වෙලා. වස්ති නමින් T shirt අඳිනවා. Caps දානවා. මම සහ දුලාජ් හදපු Brand එක අද මිනිස්සු සල්ලි දීලා ගන්නවා.මට ඕනේ වුණේ YouTube තුළ වෙනස් දෙයක් කරන්න. තමන් ආස දෙයක් YouTube හරහා ඉදිරිපත් කරන්න අද බොහෝ දෙනා පෙළඹිලා තියෙනවා. අන්න ඒ තත්ත්වය උදා කරන්න ගප්පියා, Chanux Bro , පොඩ්ඩා , ජනයි ප්‍රියයි , Nawran වගේම අපිත් සහය වුණා. ඉතිං මම හිතනවා වස්ති සම්ප්‍රදාය අතික්‍රමණය කරා කියලා.

  • Youtube Trending 1 වූ පමණින් නිර්මාණයක් හොඳ නිර්මාණයක් වෙනවාද?

වීඩියෝ එකක් YouTube තුළ Trending 1 වෙනවාද නැද්ද තීරණය කරන්නේ ප්‍රේක්ෂක පිරිස. මගේ Videos වල තියෙන්නේ ආතල්, සිංදු සහ Charity. ලංකාවේ Charity වැඩක් කරපු Video එකක් Trending 1 ගෙනාපු මනුස්සයෙක් මම. ඒ වගේම කිසිම තේරුමක් නැති සරමක් වනපු Video 1ක් Trending 1 ගෙනාවා. සම්ප්‍රදාය වෙනස් කරේ මෙන්න මේ දේවල් වලින්. නමුත් වස්ති හරිම දේ කරන්නෙත් නැහැ. වැරදි දේ කරන්නෙත් නැහැ. අපි හරිම මධ්‍යස්ථයි. මම දේශපාලනයට කඩේ යන්නේ නැහැ. හැබැයි වෙළඳ ප්‍රචාරණ කරනවා. ලංකා ඉතිහාසයේ පළමු වරට වෙළඳ සන්නාම පවා මම YouTube Trending 1 අරන් ආවා. නිර්මාණයේ සාර්ථකත්වය රදා පවතින්නේ එහි අන්තර්ගතය සහ ගුණාත්මකභාවය මත. මොන දේ කළත් වස්ති Trending 1 වෙන්නේ අන්න ඒ නිසයි.

  • කෙනෙක් ඔබට චෝදනා කළොත් කණ්ඩායමක් එක්ක එකතු වී වැඩ කරගෙන ” වස්ති ” මුවාවෙන් අනුෂ්ක උදාන පමණක් ජනප්‍රිය වෙන්න, කැපී පෙනෙන්න උත්සාහ දරනවා කියලා ඔබ ඔවුන්ට දෙන පිළිතුර කුමක්ද?

අද වෙනකන් නම් මගේ මූණට කවුරුත් එහෙම චෝදනා කරලා නැහැ. වස්ති පටන් ගත්තේ මම සහ දුලාජ්. එතකොට මේක ඇතුළේ මම පිටපත ලියලා මම පණ පොවපු මම ගොඩනඟපු චරිත ටිකක් ඉන්නවා. ඔවුන් ඒ චරිත තුළින් වස්ති වෙනුවෙන් කරපු දෙයක් තියෙනවා. වස්ති කියන්නේ පවුලක්. මම කරන්නේ මේ පවුල නඩත්තු කරගෙන පවත්වාගෙන යන එක. මේකේ ලොකුම සාමාජිකයා දුලාජ්. මම වේදිකාවකට තනියම නඟින්නේ නැහැ. මම ඒ හැම තැනටම යන්නේ දුලාජ් එක්ක. දැන් මොන තත්වයක හිටියත් මම මේ තත්වයට ආවේ මගේ යාළුවෝ ටික නිසා. ඒ නිසයි මගේ වැඩවලට එයාලව සම්බන්ධ කරගත්තේ. මට උවමනාව තිබ්බේ තනියම බුදුවෙන්න නෙවෙයි. හැමෝම එක්ක ගොඩ යන්න. මගේ සමහර Episode වල මම රඟපාන්නේ කතා කරන්නේ පොඩි කොටසක්. අනිත් අය තමයි ඉතුරු කොටස රඟපාන්නේ. මොනදේ කරත් වස්ති කරන කියන දේවල්වල සම්පූර්ණ වගකීම තියෙන්නේ මගේ අතේ.

  • අනෙකුත් Youtubersලාට සාපේක්ෂව මෑතක සිට වස්ති කරන Videos වලට ලොකු වියදමක් දරනවා. මොකක්ද මේකට හේතුව?

අපි මුල් අවදියේ Phone එකෙන් Video කරලා වස්ති නමින් වෙනස්ම දෙයක් Youtube හරහා ප්‍රේක්ෂකයන්ට ලබාදුන්නා. Concept එක වෙනස් වුණත් පසුකාලීනව ඒ හා සමාන Videos නිර්මාණය කරන්න බොහෝ දෙනා පෙළඹුණා. ඉස්සර මමයි දුලාජුයි මරුවෙන් මාරුවට තමයි Video කරේ. සෑහෙන කට්ටක් කාලා තමයි මේ තැනට ආවේ. දැන් අපිට Editors ලා , Managers ලා , Art Directors ලා , Costume Designers ලා ඉන්නවා. ඔවුන් තමන්ගේ දක්ෂතාවන් මුදල්වලට හරවන අය. ඒ නිසා ඔවුන්ට වැටුප් ගෙවන්න ඕනේ. ඉස්සර වගේ නෙවෙයි, ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන මට්ටමේ ගුණාත්මක නිර්මාණයක් ලබා දෙන්න වැය වෙන වියදම වැඩියි. අපේ Channel එකේ Reach එක දැකලා විවිධ ආයතන වලින් Youtube හරහා වෙළඳ ප්‍රචාරණය කරන්න අපිට ආයෝජනය කරනවා. මොන දේ වුණත් මට 100% ක් වැදගත් වෙන්නේ මගේ ප්‍රේක්ෂක පිරිස. ඒ නිසා මම හම්බවෙන අවස්ථාවන් ප්‍රයෝජනයට අරගෙන උපරිම නිදහසකින් උපරිම ගුණාත්මක භාවයකින් යුතු නිර්මාණයන් කරනවා. අදටත් වස්ති Video නිර්මාණය වෙන්නේ මගෙයි දුලාජ්ගෙයි ආතල් එකට.

අනුෂ්ක සහ දුලාජ්
  • Youtuber කෙනෙක් විදිහට ආපු අනුෂ්ක, වෙනස් විදිහට Fashion කරන්න ලොකු වියදමක් දරනවාද?

මගේ Fashion වලට Sponsorsලා ඉන්නවා. ඉස්සර අම්මාගෙන් සල්ලි ඉල්ලලා කොණ්ඩේ කපපු මට දැන් මගේ කොණ්ඩා විලාසිතාවන් 100% නොමිලේ කරලා දෙන Salon එකක් තියෙනවා.අද මට ඇඳුම්, සපත්තු එවන්නේ කැනඩාවේ සමාගමකින්. විවිධ ආයතන ඇඳුම් පැළඳුම් මට එවනවා. ඉදිරියේ ලංකාවේ ලොකුම Denim Brand එකක් සමඟ කටයුතු කරන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතිං ඒ නිසා මට Fashion වලට ලොකු වියදමක් වැයවෙන්නේ නැහැ.

  • ලංකාවේ ප්‍රථමවරට නිර්මාණය වෙන 3D සිනමාපටය වන ” ගජමෑන් ” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට තරම් ඔබ සුදුස්සෙක්ද?

ඒ දේ අහන්න ඕනේ ඇත්තටම කෝටි ගාණක් වියදම් කරලා මේ චිත්‍රපටය කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගෙන්. දවසක් මට චිත්‍රපටයේ අධ්‍යක්ෂක කතා කරලා ඇහුවා වස්ති නිර්මාණය කරපු ” නයි ” ගීතය වගේ එකක් මේ Film එකේ අන්තිමට දාන්න කරලා දෙන්න පුළුවන්ද කියලා. මම ඉතිං Film එකේ trailer එක බලලා මෙවැනි Next Level Film එකක් කරපු එක සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රීතිමත් වුණා. ඉතිං ඒ නිසාවෙන්ම මුදලක් අය නොකරම මම ගීතය නිර්මාණය කරලා දුන්නා. දීලා ටික දවසක් ගියාට පස්සේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා මට නැවතත් කතා කරලා ඇහුවා ” මේ Film එකේ Music උඹට කරන්න පුළුවන්ද “කියලා. වස්ති Video බලලා තමයි ඒ යෝජනව මට ඔහු අරන් ආවේ. සාමාන්‍යයෙන් වස්ති Video එකක් නිර්මාණය වෙද්දී රූගත කිරීමකට වඩා කාලයක් මට වැයවන්නේ Audio Designing වලට. වස්ති නිර්මාණ හොඳ Sound System එකක් එක්ක බැලුවොත් එකේ ගුණාත්මක බව තේරුම්ගන්න පුළුවන්. මම පොඩි කාලේ ඉඳලාම සංගීතය ඉගෙන ගත්තා. ඒ වගේම Audio Engineering ඉගෙනගෙන තියෙනවා. Film එකකට Music කරන්න තරම් කාලය මට නැති වුණත් අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම මඟ හැරිය නොහැකි නිසාම මම මේ වැඩේ භාරගත්තා. ඉතිං මම බලාපොරොත්තු වෙනවා මට පුළුවන් විදිහට මේ වැඩේ හොඳට කරන්න. කවුරු කොහොම විචාර දුන්නත් මට අදාළ නැහැ. මම මේ වැඩේ කරන්නේ සම්මාන ගන්නවත් විචාරකයන්ගේ අදහස් තත්ත්ව සහතික ගන්නවත් නෙවෙයි. පළමුවරට ලංකාවේ බිහිවෙන 3D සිනමා නිර්මාණය වෙනුවෙන් සහ ඒ සඳහාලොකු කැපකිරීමක් කරන එහි අධ්‍යක්ෂකවරයා වෙනුවෙන්. ප්‍රේක්ෂකයෝ තීරණය කරයි මේ වැඩේ හොඳද නැද්ද කියලා.

කතාබහ සහ සටහන : දිළිණි උදාරි

3468total visits,12visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *