හදවතක් නැති සිත්තරාවි

“ හදවතක් නැති සිත්තරාවි “ ඇයව සමහරු එහෙම හදුන්වනවා. තවත් සමහරුන්ට ඇය මාෂි මිරැන්ඩා ඒ වගේම තවත් කිහිප දෙනෙක් ඇයව දන්නේ දිනිති මහේෂිකා මිරාල් කියන ඇයගේ සැබෑ නමින්. කවුරු කොහොම ඇයව හැදින්නුවත් මට ඇයව පෙනුනේ හිතුවක්කාර කැරලි කොණ්ඩකාරියක් විදියට. ටිකක් විතර මුරණ්ඩු අදහස් තිබුනත් මාෂි අපුරු හැකියාවක් තියෙන සිත්තරාවියක්.

පින්සල් පාරවල් කැන්වස් කඩදාසිය දිගේ ඔහේ රස්තියාදු ගමන් යවන මාෂි එය අවසන් කරන්නේ ජිවය රැදුණු අපුරු සිත්තමක් විදියට. අවුරුදු 12 විතර තිස්සේ සිතුවම් අදිමින් විෂය ප්‍රගුණ කරපු මාෂි මේ වෙද්දී වයස අවුරුදු 24ක තරුණියක්. Heartless Artist ඒ ඇයගේ චිත්‍ර ප්‍රදර්ශනයන්ට දුන්නු නම. 

Art Never Comes from Happiness මාෂිගේ මීට අවුරුද්දකට කොළඹ චිත්‍ර ප්‍රදර්ශනයේ ආරාධනා පත්‍රයේ යටින් එදා එහෙම සටහන් වෙලා තියෙනවා මගේ ඇහැ ගැටුනා. එහි ඇත්තක් නැතුවම නෙවෙයි. ලෝකයේ බොහෝ කලා නිර්මාණ බිහි වෙන්නේ වේදනාව වින්දනය කරපු මිනිස්සු තුලින්. එහෙම නැතිනම් කලාකරුවන් කියන්නේ වේදනාව වින්දනය කිරීම තුලින් ජීවිතය අත්දකින මිනිසුන්. හුදකලාව තනිකම දරා ගත නොහැකි වූ තැන ද අපුරු නිර්මාණ බිහි වෙන්නේ ඒ වින්දනය කිරීම හරහා. මාෂිගේ ජිවිත සටහන ද ඒ ලෙසින් ම නොවුනත් එහි සමාන කම් නැතිවා ද නොවේ. පුංචි කාලයේ දී තමන්ගේ හුදකලාව මග හැරවා ගන්න මාෂි තෝරා ගන්නේ සිතුවම් කලාව. ඒ අවුරුදු 10ක් විතර වයසේ දී. එතැනින් එහාට ජීවිතය ගෙවුණු හැටි ගැන කියන්න මන් මාෂිට ඉඩ දුන්නා. 

“ මට අවුරුදු 10 විතර වෙද්දී මගේ අම්ම ඉතාලියට එනවා. ඉතින් ඊට පස්සේ තනිය මකා ගන්න මන් කරන්නේ චිත්‍ර අදින එක. පස්සේ මන් ලංකාවෙන් ඉතාලියට එද්දීත් මන් ඒ චිත්‍ර අරගෙනයි ඉතාලියට එන්නේ. මන් එහෙම චිත්‍ර අදින්න කියලා ඉගෙන ගෙන නැහැ. මන් ම ඇදලා ඇදලා ඉගෙන ගත්තා. චිත්‍ර අදින එකෙන් මට ලොකු සතුටක් දැනුනා. මට ඕනි වුනේ මන් බලාපොරොත්තු වුනේ ඒ සතුට විතරයි. අනිත් අය මගේ චිත්‍ර ගැන මොනවා කිව්වත් මන් ඒ ගැන හිතුවේ නැහැ මොකද මට ඕනි වුනේ මට දැනෙන සතුට විතරයි.

ගොඩක් අය හිතං ඉන්නේ මගේ ජිවිතේ වැඩි හරියක් කරන්නේ චිත්‍ර අදින එක කියලා. ඇත්තටම එතැන තිබුනේ චිත්‍රයක් අදින්න පටන් ගත්තොත් මට ඒක ඉක්මනට ඇදලා ඉවර කරන්න ඕනි. සතියක් විතර යනකම් හෙමින් අදින්න මන් කැමති නැහැ. ඉතින් ඒ ඉක්මන නිසා මන් චිත්‍ර ගොඩක් එක දවසකට අදිනවා, නමුත් මන් දන්නවා කාලය හෙමින් අරගෙන අදින එකෙන් තවත් නිර්මාණය ලස්සන වෙනවා කියලා. මන් දැන් නම් කාලයක් අරගෙන ඒක තවත් ලස්සන කරන්න උත්සාහ කරනවා ඉතින්. ඉස්සර ඒක අඩුයි. පුංචි කාලේ උනත් මන් වැඩි කාලයක් ගත කරන්නේ චිත්‍ර අදින්න. ස්කොලේ පාඩම් වැඩ උනත් සමහර වෙලාවට මග හැරෙනවා. ඒ තරම් චිත්‍ර ඇන්දා. එක පාරක් මගේ සියා මගේ ස්කොලේ ටීචර්ටත් කතා කරලා කිව්වා මෙයා පාඩම් කරන්නේ නැහැ චිත්‍ර අදිනවා විතරයි කියලා. ඇත්තටම පොඩි කාලේ ඉදන් චිත්‍ර අදින එක තමයි මගේ ජිවිතේ වෙලා තිබුනේ.

මේ වෙද්දී චිත්‍ර 5000ක ට වැඩිය මන් ඇදලා තියෙනවා. මන් ඇදපු ඒවායින් කිහිපයක් විතරයි මන් විකුණලා තියෙන්නේ. අනිත් හැම චිත්‍රයක්ම කබඩ් එකක් පුරෝලා අරන් තියලා තියෙනවා. දැන් අවුරුදු 2ක් විතර වෙනවා මන් අදින චිත්‍ර විකුනන්න උනත් පටන් අරගෙන. ඉතාලියේ අයට තමයි මන් ගොඩක් චිත්‍ර විකුනන්නේ. ඉතාලියේ කලාවට ලොකු වටිනාකමක් මිලක් එයාලා දෙනවා. ලංකාවේ එහෙම අගයක් නැතිකමක් තියෙනවා කියලා වෙලාවකට මට හිතෙනවා. හැබැයි ලංකාවේ චිත්‍ර වල තියෙන වටිනාකම දන්නා පිරිසකුත් ඉන්නවා නැතිව නෙවෙයි.හැමෝම එක වගේ නැහැ නේ. ගොඩක් වෙලාවට මන් දන්නා මන් අගය කරන දක්ෂ අයට මන් නිකම් portrait කරල තියෙනවා. නමුත් කාලය ශ්‍රමය වගේ කැන්වස් පින්සල් ඒ දේවල් වලට යන වියදම එක්ක හැමෝමට ම නිකම් චිත්‍ර ඇදලා දෙන එක හරිම අමාරුයි. ඒ නිසා සමහරු කියනවා මගේ චිත්‍ර ගණන් වැඩි කියලත්. 

හැබැයි චිත්‍ර අදින දක්ෂ ගොඩක් අය මාව අගය කරලා තියෙනවා. ඒ ගැන සතුටුයි. හැබැයි මන් ගොඩක් ම එහෙම අගය කිරීම් බලාපොරොත්තුවෙන් අදින කෙනෙක් නෙවෙයි. මට ඕනි ආත්ම තෘප්තිය. ඒක මට ලැබෙනවා පින්සල් පාට වර්ග මගේ අතේ වදින කොට මන් චිත්‍ර අදින කොට මට ලොකු සතුටක් ලැබෙනවා. ඒ කොහොම වුනත් හැමෝටම මන් ගොඩක් ස්තුතියි කරන්න ඕනි. මන් එක්ක හිටපු මට උදව් කරපු හැම කෙනෙක්ට.

Heartless Artist මගේ පලවෙනි චිත්‍ර ප්‍රදර්ශනය ඒක ලොකු අභියෝගයක්. එළිමහන් ප්‍රදර්ශනයක්. හැබැයි ලොකු වෙනසක් කරා. Heartless Artist කියන නම තේරුවේ මගේ යාළුවො. මොකද මන් කියන්න තියෙන දේ ටිකක් මුණටම කියන කෙනෙක්. ඉතින් නම් තෝරාගෙන යද්දී අපි ඒ නම තේරුවා. ඒ නිසා තමයි ඒක Heartless Artist – Solo Exhibition by Mashi Miranda විදියට නම් වුනේ. Heartless Artist – Solo Exhibition by Mashi Miranda දෙවන අදියර පසුගියදා ඉතාලියේ දී පැවැත්වුවා. එයත් සාර්ථක ප්‍රදර්ශනයක්.

හුස්මක් ගන්නෙවත් නැතිව වේගෙන් වේගෙන කියවගෙන යන මේ කලබලකාරී සිත්තරාවියට ඉඩ දීලා මන් බලන් හිටියේ එහෙම. ඒ ඇයගේ කතාව. හිතුවක්කාර කැරලි කොණ්ඩකාරීගේ දක්ෂකම් මෙන්ම මෙතෙක් ආ ගමන පිටුපස හැංගුණු කතාවකට වැඩිය ජිවිතේ පලවෙනි පියඹාගෙන යෑමකට අත්තටු සුදානම් කරන අතරේ කිව්ව කතාවක් ඒ.

දවසක ඇය තවත් දුර නිමක් නැති ඉහල අහසේ නිල් සුදු වලාකුළු අස්සෙන් වගේම දේදුන්නේ සත් පාට අස්සෙන් ඉගිලිලා ගිහින් සිත්තරාවියක ලෙසින් ලෝකයේ වෙනස්ම මානයන් ස්පර්ශ කරාවි. සොදුරු පින්සල් පාරවල් සහ සායම් තුලින් මිනිසුන්ගේ හුස්ම අලුතින් උපද්දවා වී. ලක් මෑණියන්ගේ නමට අලුත් පාටක් ගෙනත් දේවි. හැම අත්දැකීමක් ම කතා කරන සිතුවමක් බවට පත් කරාවි. ජිවිතයේ හැම වේදනාවක්ම වින්දනය කරමින් කැරලි කොණ්ඩකාරීය ආයෙත් දවසක එතකොට මෙහෙම කියාවී.

Art Never Comes from Happiness

සටහන – අරුණි කළුපහන

mashi miranda
Heartless Artist – Solo Exhibition by Mashi Miranda in italy
Heartless Artist – Solo Exhibition by Mashi Miranda in italy
Heartless Artist – Solo Exhibition by Mashi Miranda in italy
Heartless Artist – Solo Exhibition by Mashi Miranda in italy
Heartless Artist – Solo Exhibition by Mashi Miranda in italy
Heartless Artist – Solo Exhibition by Mashi Miranda in italy

also read : http://shadesoflotus.com/දුම්බර-කඳු-අස්සෙන්-මතු-වු/

752total visits,3visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *