කස්සප රජුන්ටත් පෙම් වැඩු පිදුරංගල දේව අඩවිය

ජීවිතේ ආපු විවිධ හැල හැප්පීම් එක්ක ටික කාලයක් ගෙවිලා යද්දී රාජකාරී ජීවිතෙන් හෙම්බත් වුණු මට මනසට විවේකයක් ඕනි කියලා හිතුණා.විවේකය කියලා සමහරු කියන්නේ උදේ ඉදන් රෑ වෙනකම් ගෙදරට වෙලා නිදාගන්න එකට.ඇත්තටම ඒක විවේකයක්ද? ජීවත් වෙලා ඉන්න ටික කාලෙත් නින්දට වැයකරන එක අපරාධයක් නෙවෙයිද?

බොහෝ අවස්ථාවල රට වටේ තනියම රෝන්දේ යන මට තනියම ඇවිදින එකත් වෙලාවකට හරිම කම්මැලි කියලා හිතුණා.යාළුවෝ ටිකක් එක්ක යන්න තිබ්බානම් ඒක හරිම විනෝදජනකයිනේ.

දර්ශණ අබේරත්න A/L class ආපූ දන්න කියන යාළුවෙක්.දර්ශණ ඇතුළු කිහිප දෙනෙක් එකතුවෙලා කරන Hiking in Sri Lanka එකේ මේ පාර Event එක තිබුණේ පිදුරංගලට.

පොදු ප්‍රවාහන සේවයෙන් එහෙමත් නැතිනම් අපේ භාෂාවෙන් කියනවානම් පාරේ බස් එකේ තමයි අපි මේ ගමන යන්න පිටත් වුණේ.මේ කණ්ඩායමට මම එකතු වුණේ දඹුල්ලෙන්.ඉනාමළුවේ හන්දියෙන් බැහැලා පිදුරංගල පැත්තට යන බස් එකක් එනකන් ටිකක් වෙලා ඉන්නත් වුණා.

ටික වේලාවකින් පන්සල අසලට පැමිණි අපි ගමන් මහන්සිය නිවාගෙනම පිදුරංගල කඳු මුදුනට නඟින්න සූදානම් වුණා.අළුත් යාළුවෝ හඳුනාගෙන ආගිය තොරතුරු කතා කර කර ගිය නිසා වැඩි වෙහෙසක් දැණුනේ නැහැ.යන අතරමඟ සංචාරකයින් සිදුකර ඇති පරිසර හානි හා නටබුන්වලට කර ඇති හානි දුටු විට හිතට දැණුනේ විශාල කණගාටුවක්.

පිදුරංගල විහාරය මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරියට උතුරු දෙසින් පිහිටා ඇති පැරණි විහාරයක්.පිදුරංගල කන්ද ආශ්‍රිතව මෙය පිහිටා තිබෙනවා. පිදු + රන් + ගොඩ = පිදුරංගල වුණා කියලා තමයි පැරැන්නෝ කියන්නේ.කාශ්‍යප රජ සමයේ භික්ෂුන් මෙහි වාසය කර ඇති බව මෙහි ඇති සංඝාවාස , ස්ථූප , පිළිම , බෝධිඝර හා චිත්‍ර සාක්ෂි දරණවා.මඟක් දුර යනවිට මීටර 12.5 ක් පමණ දිග සැතපෙන බුදුපිළිමයක් දක්නට ලැබෙනවා.නිධන් හොරුන්ගේ බලපෑම් නිසා මේ වනවිට එම බුදු පිළිමය විනාශ වී ඇති අයුරු ඔබට දැක ගැනීමට පුළුවන් වේවි.

පිදුරංගල කඳු මුදුන තරණය කිරීමට ඔබත් බලාපොරොත්තුවෙන්නේ නම් වතුර බෝතලයක් රැගෙන යන්න අමතක කරන්න එපා.එය ඔබගේ ගමනේ විඩාව නිවන්න මහෝපකාරී වේවි.ඒ මන්දයත් යන අතරමඟ ජල පහසුකම් නොමැති නිසා.මඟදි කන්නත් පුංචි දෙයක් අරං ගියාට කමක් නැහැ. හැබැයි කිසිදු අපද්‍රව්‍යයක් ඒ පරිසරයට බැහැර කරන්න එපා.

මුදුනට ළඟාවන විට අවසන් අදියර නැඟීම ටිකක් අපහසු වූවත් සියලු දෙනාගේ සහයෝගය ඇතිව අපි සැමටම පිදුරංගල මුදුනට ළඟාවීමට හැකිවුණා .පිදුරංගල මුදුනට දිස්වන අවට පරිසරයේ මනස්කාන්ත දසුන්, සතර දෙසින් ගලා එන සුළං රැළි අපේ විඩාව සැඟවූයේ අපටත් නොදැනීමයි.

ඈතින් දිස්වෙන සීගිරිය ඒ අපුර්ව දර්ශණ තලයට ප්‍රෞඩත්වයක් එක් කළා. ඒ සුන්ඳරත්වය විඳින ගමන්ම අපි සකස් කරගෙන පැමිණි පුංචි පුංචි කෑම ජාතීත් අනුභව කරන්න ගත්තේ පොඩි බඩගින්නක් හැමෝටම දැණුනු නිසා.

යන එන අතරමඟ අයියලාගේ කැමරා හරඹයන් දැකලා මටත් ඒ ගැන උනන්දුවක් ඇතිවුණේ නිතැතින්මයි.ඇස් වශීකෘත කරන මනරම් දසුන් අවට පරිසරය තුළ අපිට දකින්නට ලැබුණා.ඉර අවරට යන්න පැය කිහිපයක් තිබියදී අපි හෙමින් හෙමින් කඳු පාමුලට ළඟාවුණා.නැවතත් ඒ අලුත් මිතුරන් සමඟ චාරිකවක් යෑමේ අටියෙන් අපි පිදුරංගලින් සමුගත්තා.

සටහන : දිළිණි උදාරි
ඡයාරූප : කෙනත් පෙරේරා

also read : http://shadesoflotus.com/category/road-trip/

517total visits,4visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *