පිරිමි ඇස් අස්සෙන් හීන ලිව්ව කෙල්ල

ජනෙල් පඩිය උඩ ඉදගෙන ඈත පාරවල් වල යනෙන වාහන දිහාවේ ඔහේ බලාගෙන හිටපු සාරා හුන් තැනින් නැගිට්ටේ තවත් බෝහෝ වෙලාවකට පස්සේ. තට්ටු නිවාසයේ අහසට සමීප තට්ටුවක ඉදන් මේ විදියට පහල යන පුංචි වාහන දිහාවේ බලාගෙන කාලය ගත කරන එක නම් ඉස්සර සාරාට දැනුනේ ස්වර්ගයේ ඉදන් මහා පොලවේ මිනිසුන් දිහාවේ බලාගෙන ඉන්න දෙව්දුවක් වගේ හැගීමක්. නමුත් ඒ හැගීම තව දුරටත් වලංගු වුනේ නැහැ. දැන් දැන් හැම දෙයක් ගැනම සාරාට තිබුනේ කලකිරීමක්. ජිවත් වෙනවාට ජිවත් උනා මිසක් මොනවා කරන්න ද මොනවා හිතන්න ද කියලවත් සාරා දැනගෙන හිටියේ නැහැ.

සාරා ලේඛිකාවක්. නාගරික සමාජය තුල රටක් තුල නමක් දිනු තරුණ ලේඛිකාවක්. නමුත් දැන් ඒ හැම දෙයක්ම අවසන් වෙන්න යන්නේ කියලා සාරා දන්නවා. ලේඛිකාවකට වටිනාම දේ තමන්ගේ අත් සහ ඇස්. නමුත් එයින් එකක් අහිමි උනොතින් කුමක් කරන්න ද ?

සාරාට තේරෙන්නේ නැත්තේ එතැන.

පුංචිම දවස් වල ඉදන් කණ්නාඩි දෙකක් පැළඳ සිටියට මෑතක ඉදන් කණ්නාඩි නැතිව තමන්ට කිසිවක් කර ගත නොහැකි වගක් සාරාට දැනෙන්නට වෙලා තිබුනා. ඒ නොපෙනන ගතිය දවසින් දවස වැඩි උනා මිසක් අඩු වීමක් තිබුනේ නැහැ. ඒක අමුත්තක් වුනත් සාරා ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. හැබැයි වෛද්‍ය වාර්තා ඒ හැම දෙයක්ම වෙනස් කරා. දවසින් දවස අහිමි වෙන දෑසේ පෙනීම ගැන ඒ වෛද්‍ය වාර්තා ලියලා තිබුනා.

සම්පුර්ණ අන්ධභාවයක්. ??

ආයේ ආයේත් ඒ වචන කියෙව්වාට සාරාට ඒ වචන වල හැගීමක් දැනුනේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද ? ඊලගට වෙන්නේ මොකක් ද ? මන් ලියන්නේ කොහොමද ? ආස කරන පොත් කියන්නේ කොහොමද ? ආදරේ කරන අයගේ මුණ දකින්නේ කොහොමද ? සාරාට ප්‍රශ්න ගොඩක් තිබුනා.

හැමෝම සාරා දිහාවේ අනුකම්පාවෙන් බැලුවේ ජිවිතේ එතනින් ඉවරයි කියන්න. හැමෝම දැක්කේ ඒවා උත්තර නැති ප්‍රශ්න විදියට. ඒත් ඒ හැම ප්‍රශ්නේකට උත්තර තිබුනේ එක් කෙනෙක් ගාව තිබුනා. සාරාගේ දීර්ඝ කාලින පෙම්වතා. නාදිත. නමුත් මුල් කලේ සුරංගනා ලෝක මවන පෙම්වතුන් අවසානය වෙද්දී නැති වෙන වග සාරා නොදැන හිටියා නෙවෙයි. ඒ නිසාම නාදිතව හව්හරණක් කරගෙන ජිවිතය දකින්න සාරාට ඕනි උනේ නැහැ. සාරාට ඕනි වුනේ ඇය දිහාවේ අනුකම්පාවෙන් බලපු හැම කෙනෙක්ම ජිවිතෙන් අයින් කරලා දාන්න. එහෙම අනුකම්පාවෙන් නොබලපු නාදිතගෙන් උනත් ලොකු දුරකට යන්න. අන්ධ ගැහැනියක් වෙලා පිරිමියෙකුට සෙවනැල්ලක් වෙන්න බැහැ සාරාට එහෙම හිතුන වෙලාවල් ගොඩක් තිබුනා. ඒ නිසාම නාදිතගේ ජිවිතේට ඇලිලා ඉදලා ඒ ජිවිතේ අවුල් ජාලාවක් කරන්න සාරාට ඕනේ උනේ නැහැ.

ඒත් ලේඛිකාවක් කියන වෘත්තිමයභාවය ජිවිතේට අහිමි වෙද්දී ඇස් වලට පෙනුන ලෝකය දුරස් වෙද්දී තනිකර කලුවරක තනි වෙද්දී සාරාව දාලා යන්න නාදිතට ඕනි උනේ නැහැ. ඒ වෙනුවට නාදිත ඒ හැම දේකටම අලුත් පිලියමක් හෙව්වා. ලියන්න බැරි නම් රෙකෝඩ් කරමු. එහෙම කිව්වේ ඔහු. ඇය රෙකෝඩ් කරලා තියෙන වචන ටයිප් කරන්න එක මහා දෙයක් නෙවෙයි. ඔහු හිතුවේ එහෙම. ඇස් තියෙන මිනිසුන් නොදකින ඔවුන්ට නොදැනෙන සංවේදී ලෝකයක් ඇය ඉස්සරහා තියෙනවා කියලා ඉගැන්නුවේ නාදිත. ස්පර්ශයෙන් සුවදින් ශබ්දයෙන් හැමදේම දකින්න ඇයට හුරු වෙන්න උනා. ජිවිතයේ එපා කියලා අඩනවාට වැඩිය ජිවිතේ නොදැකපු පැත්තක් ස්පර්ශ කරමු කියලා සාරාට කිව්වේ නාදිත. නැති උන පෙනීම ගැන දුකක් තිබුනත් ඒ විදියට සංවේදී දැනීමකින් ලෝකේ දකින එකෙන් සතුටක් තියෙනවා කියලා සාරා ඉගෙන ගත්තා. නාදිත සාරාට ඇහෙන්න පොත් කියෙව්වා. ලෝකේ එදිනෙදා වෙන දේවල් විස්තර කරා. ඒ විතරක් නෙවෙයි සාරාගේ සෙවනැල්ල වුනෙත් නාදිත.

හැබැයි ඒ නාදිත. හැමෝගෙම ජිවිත වල නාදිත කෙනෙක් නොහිටින්න පුළුවන්. හැබැයි ඒ වගේම කෙනෙක් අනිවාර්යෙන් හමුවෙන්න පුළුවන්. මොකද පෙම්වතෙක් කියන්නේ ජිවිතේට එක දෙයක් වුනාට අපි හැමෝගෙම ජිවිත වල අපි ඉපදෙද්දීම තීරණය වුනු රැකවල් දේවදුතයෙක් ඉන්නවා. එයා කොයි වෙලේ කොයි විදියට අපිව හොයාගෙන එයි ද කියලා කවුද දන්නේ. ජිවිතේ තියෙන්නේ පුංචි ප්‍රශ්න ප්‍රශ්න වලදී අත හැරලා දාන්න නෙවෙයි. එක පාරක් ඉවර වෙන්නේ අලුත් පාරක් තනන්න හැගීමක් හිතට දෙන ගමන්. ඒ අලුත් පාර හොයා ගෙන කපලා සුද්ද කරලා අලුතින් තනන එක අපේ වගකීමක්. මුල් කාලේ ගොඩක් දුෂ්කර වෙයි. හැබැයි දුෂ්කර කාලේ අවසානයේ දී අපිට තියෙන්නේ ඒ පාරේ ලස්සනට ඇවිද ගෙන යන්න. ඒත් ඉතින් ඒ පාරත් ආයේ කැඩිලා බිදිලා දුෂ්කර පාරක් වෙන එකක් නැහැ කියලා කාට ද කියන්න පුළුවන්. එහෙම වුනොත් අපිට පුළුවන් නේ කලින් අත්දැකීම් එකතු කරගෙන ආයෙත් අලුතින් පාර හදන්න. ඒකට තමයි ජිවිතේ කියන්නේ. ඒකට තමයි ආදරේ කියන්නේ. ආදරේ කියන්නේ සම්පුර්ණ ආත්මාර්ථකාමී හැගීමක් නෙවෙයි. ඒක මුළු ලෝකෙටම විහිදුනු හැගීමක්. ආදරේට පුළුවන් ලෝකයක් වෙනස් කරන්න.

ලෝකය වගේම ජිවිතයේ ආරම්භ සටහන් කරන්නේ ආදරයෙන්. දුෂ්කර කාල වලදී අතින් අත නොහැර හයියෙන් අල්ලාගෙන ඉස්සරහට යන එක තමයි ආදරේ කියන්නේ. එක්කෙනෙක් දුකින් වැටෙන කොට ආයෙත් එයාව සතුටින් නැගිට්ටවන එක තමයි ආදරේ කියන්නේ. කිසිවක් බලාපොරොත්තු නොවී අනිත් කෙනා කෙනා වෙනුවෙන් කැප වෙන එක තමයි ආදරේ කියන්නේ. මුළු ලෝකයක්ම අහිමි උනත් තමන්ගේ අය වෙනුවෙන් නවතින එක තමයි ආදරේ කියන්නේ. ආදරේ කවදාවත් දුෂ්කර කාල වලදී යුතුකම් මග හැරුනා කියලා දාලා යන්නේ නැහැ. ආදරේ කවදාවත් අඩු පාඩුකම් ලග චෝදනා කරන්නේ නැහැ. ආදරේ කියන්නේ හිස්තැන් පුරන එකට. එක අතකින් වෙන අඩු පාඩු අනිත් අතින් හෙමිහිට පුරවන එකට. ආදරේ කවදාවත් අනන්තයක් දකින්නේ නැහැ. ආදරේ කියන්නේ අන්න ඒකට.

සාරා අවුරුදු කිහිපයකට පස්සේ ලියන එයාගේ අලුත් පොතේ ඒ වගේ සටහනක් තියනවා. සාරා රෙකෝඩ් කරපු පොත නාදිත අකුරු වලට ගේනවා. සාරාගේ නමින් ඒ පොත එලි දකින දවසේදී නාදිත සාරා ලගින්ම හෙලවෙන්නේ නැතිව සතුටින් බලාගෙන හිටියා. හැබැයි ඒ වෙලේ නාදිත දැක්ක හැමෝමට ම හිතුන දෙයක් තිබුනා. ආදරේ ඒ වගේ.. ආදරේ කියන්නේ අන්න ඒකට.

අරුණි කළුපහන

489total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *