පොත් ලෝකෙට අරුතක් වූ තාරකා

දෙහි, මැටි, කළු, ඇස්, පාට යනාදී වශයෙන් කෘති රැසක් සාහිත්‍ය ලෝකයට දායාද කල තාරකා වාසලමුදලිආරච්චිගේ නවතම කෘතීන් වූ ඉන්ද්‍රචාප සහ ගුරු මෙවර පොත් ප්‍රදර්ශනයට සමගාමිව ජනගත කෙරෙයි. මේ ගුරු සහ ඉන්ද්‍රචාප පිළිබද ඇයගේ අදහස් කිහිපයක්.

  • ගුරු සහ ඉන්ද්‍රචාප ගැන අපි කතා කරමු? 

ගුරු සහ ඉන්ද්‍රචාප කියන්නේ මේ සැප්තැම්බරයට එළි දකින මගේ නවතම කෘති දෙක. ගුරු ගැන කිව්වොත් ගුරුවරුන්ගේ ලෝකය විනිවිද දකින්නට ගත් වෑයමක් ලෙස හදුන්වන්න පුළුවන්. ඒ වගේම ඉන්ද්‍රචාප ගැන කතා කරොත් ඉන්ද්‍රචාප නවකතාව පුරාවටම විවිධ සමාජ ස්තර වල ජිවත් වන මිනිසුන්ගේ ජිවන අත්දැකීම් හසු කරගන්නටත්, ඔවුන්ට දැනෙන හැගෙන ප්‍රේමය ගැඹුරින් විවරණය කරන්නටත් මම උත්සාහ කලා. 

  • ගුරුවරුන් වෙනුවෙන්ම පොතක් ලියන්න සුවිශේෂි හේතුවක් තිබුණාද? 

ගුරුවරුන් අපේ සමාජය හැඩගැස්මට වගේම අනාගත පරපුර තැනිමේ උතුම් කාර්‍යට කැපවුණු නිහඩ සේවයක නිරතව සිටින පිරිසක්. වසර ගණනක් පුරා මගෙත් මගේ දරුවන්ගේත් අධ්‍යාපන කටයුතු වලදී මට ගුරුවරුන් පිළිබද පුළුල් අත්දැකීම් ලැබිලා තියෙනවා. පෙර පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වාම දරුවන්ට ශිල්ප දෙන ගුරුවරුන්ගේ අගය මතුකිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙස මා දකිනවා.ඒ නිසාමයි ගුරු ලියවෙන්නේ. එම සමාජ කාර්‍ය මෙරට පොදු මහජනතාව අතරට ගෙන යෑමටත්, සමාජ කතිකාවතක් ඇති කිරිමටත් “ ගුරු “ නවකතාව මග පාදනු ඇතැයි මා විශ්වාස කරනවා. 

  • වර්තමාන ලෝකයේ මාධ්‍ය තුළින් ඇසෙන දකින පුවත් දෙස බැලුවාම ගුරු සිසු සබදතාවය පිළිබද එතරම් යහපත් දේ කියවෙන්නේ නෑ. අතීතයේ ඔබ දුටු ගුරු දෙවිවරු තවමත් මේ සමාජය තුළ හිදිනවා යැයි ඔබ විශ්වාස කරනවාද? 

ප්‍රකට කියමනක් තියෙනවා සෑම මනුෂ්‍යයෙකු තුළම දෙවියෙකු සහ යක්ෂයෙකු සිටිනවාය කියා. ඒකෙන් ගම්‍ය වන්නේ මනුෂ්‍යයා යනු අපරිණත ක්ලේශයෙන්, දැනුවත්කමින් සහ තවත් දුබලතා රැසකින් යුතු කෙනෙක් බව. නමුත් අපට බුද්ධියක් දැනුමක් ලැබී තියෙන්නේ අපගේ දුබලකම් පාලනය කරගෙන උසස් ගුණාංග වැඩි කරගැනිමට. අප සැමගේම හොද සහ නරක දෙකම අඩු වැඩි පමණට තියෙනවා. ගුරුවරයා මෙහිදි විශේෂ වන්නේ ඇයි? ඔවුන් අපේ දරු පරම්පරාවන්ගේ නැණස පාදන නිසා. වසර දහතුනකට ආසන්න කාලයක් දරුවන්ගේ ජිවිත ගොඩ නගන නිසා. ගුරුවරුන්ගෙන් වැරදි අඩුපාඩු සිදුවිය හැකියි. අවබෝධය, ගෞරවය, සබදතාවය හරිම වැදගත්. ගුරුවරුන්ට ගෞරව කිරිමට අපේ දරුවන්ට කියා දිය යුතුයි. ගුරුවරුන් හැදින්වීමට “ ගුරු දෙවියා “ යන යෙදුමට වඩා සුදුසු වෙනත් ආමන්ත්‍රණයක් ඇතැයි මා සිතන්නේ නැහැ. 

  • ප්‍රථමයෙන්ම ඉන්ද්‍රචාප ටෙලි නාට්‍ය පිටපතක්. ටෙලි නාට්‍ය පිටපතක් නවකතාවක් ලෙස යළි ජනගත කිරිමේදි සාහිත්‍යවේදිනියක ලෙස ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද? 

නිම කරන ලද පිටපතක් නවකතාවක් බවට පත් කිරිමේදි නිර්මාණය තුළ ලැබෙන නිදහස තරමක් අඩුයි. මම සාමාන්‍යයෙන් නවකතාවක් රචනා කිරිමේදි දළ සැකිල්ලක් නිමවන්නේ නැහැ. නිදහසේ ලිවීමට මම කැමතියි. ඉන්ද්‍රචාප නවකතාව ලියද්දි මේ වෙනසට පමණයි මම මුහුණ දුන්නේ. ආසාවෙන් ලිව්වා. ඉන්ද්‍රචාප තුළ ජිවත් වෙන චරිත පෞද්ගලිකව හමුවුණා වගේ මට දැණුනා. 

  • තාරකා ඇයි මේ තරම් සමාජ ගැටළු ගැනම ලියන්නේ ? 

නවකතාකරුවා යනු සමාජ මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. නවකතාව හෝ වෙනත් කලා නිර්මාණයක් මෙම සමාජ කාර්‍යයෙන් බැහැරව හුදු පෞද්ගලික අරමුණු උදෙසා යොදා ගැනිම සැබෑ නිර්මාණකරුවාගේ වගකීම පැහැර හැරීමක් ලෙසයි මා දකින්නේ. “ සමාජ ගැටළු “ බවට පත් වන්නේ මනුෂ්‍යයන්ගේ ජන ජිවිත වල මතු වන සංකීර්ණ තත්වයන්. මනුෂ්‍ය ජිවිතයේ සංකීර්ණත්වය ගැඹුරින් නොදකින නිර්මාණය තුළද ගැඹුරු බව, උසස් බව හීන විය හැකියි. 

  •  තාරකා නිර්මාණයක් ජනගත කරන්න යම් කාලයක් ගන්න කෙනෙක්. නමුත් එය ඔබේ පාඨකයන්ට කරන අසාධාරණයක් නෙවේද? 

උසස් නිර්මාණයක් නිම කරන්න ඊට අදාළ කාලය එම ක්ෘතිය විසින්ම ඉල්ලා සිටිනවා. අපට එය මග හරින්න බැහැ. මග හැරියොත් එයින් ඒ නිර්මාණයට යම් අඩුපාඩු සිදු වෙන්න ඉඩ තිබෙනවා. තම ක්ෘතිය විශිෂ්ටත්වයට පත් කිරිමට අවශ්‍ය කාලය ලබා දීම පරිණත නිර්මාණකරුවෙකුගේ ගුණාංගයක්. ඒ ගුණාංගය මා ඉතා සමීපව ඇසුරු කළ කේ.ජයතිලක, හෙන්රි ජයසේන, සිබිල් වෙත්තසිංහ වැනි විශිෂ්ට නිර්මාණකරුවන් තුලින් මා අත්දැක තිබෙනවා. 

  • ඔබ දකින සැබෑ සාහිත්‍යවේදියෙකුගේ ස්වරූපය කුමක්ද ? 

සැබෑ සාහිත්‍යවේදියා යනු මනුෂ්‍ය ජිවිතය විනිවිද දැකිමේ හැකියාව ඇති කෙනෙක්. උසස් පරිකල්පනයෙන්, ජිවිත අත්දැකිමෙන් පෝෂණය වූ කෙනෙක්. පෞද්ගලික පටු පරමාර්ථ පසෙකලා සමාජමය කාර්‍යයකට කැප වු කෙනෙක්. සමාජ ලෝකය පිළිබද ගැඹුරු කියවීමක් ඇති යහපත් ආකල්ප සහ දර්ශනයක් ඇති පුද්ගලයෙක්. ලෝකය සමාජය වෙනස් කළ හැක්කේ, යහපත් තලයකට ගෙන යා හැක්කේ මනුෂ්‍යයාට සහ පොදු සමාජයට, ලෝකයට ආදරය දක්වන්නෙකුට පමණයි. 

  • දෙහි, මැටි, කළු, ඇස්, පාට සහ දැන් ගුරු.. මොකක්ද මේ සංකේතය ?

ඔබ මගෙන් ඔය ප්‍රශ්නය අසන්නේ මගේ නවකතාවල යොදන නමෙහි විශේෂත්වයක් තිබෙන නිසානේ. ඒ විශේෂත්වයට මා කැමතියි. නවකතාවක් සොයාගෙන ගිහින් එය ලබා ගැනීමට පාඨකයා පෙලඹෙන්නේ නම දැකපු පමණින්. ඇතැම් විට එය ලේඛකයාගේ නම වෙන්නත් පුළුවන්. නවකතාවක නම, පිටකවරය, එහි නිමාව ගැන, නිර්මාණයේ අන්තර්ගතය වගේම මම හරිම පරිස්සමින් සැලකිලිමත් වෙනවා.

  • ගුරු සහ ඉන්ද්‍රචාප ජනගත කර අවසන්. ඊළග පියවර මොකක්ද? 

මගේ තවත් ක්ෘති දෙකක මූලික වැඩ කටයුතු අවසන්. ඉදිරි කාලය තුළ ඉතිරි වී ඇති කටයුතු සම්පුර්ණ වේවි. ඉන්පසු ඒ ගැන මගේ ආදරණිය පාඨකයන්ට කියන්නම්. 


අරුණි කළුපහන 

3320total visits,37visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *