ලෑලී ගෙදර නිල් කුරුමිණියා එක්ක සීතල සති අන්තයක්

තවත් ලස්සන සති අන්තයකට මුල පුරන්නයි Shades of Lotus එක්ක මගේ සූදානම. උදේම 5.55ට කොටුව දුම්රිය පොළින් පිටත් වෙන පොඩි මැණිකේ අද හරිම ආඩම්බරෙන්. සති අන්තේ නිසා සෙනඟ පිරිලා. යන්තම් ගම්පොළින් වාඩිවෙන්න තැනක් ලැබුණු මම කැමරාව අතට ගත්තේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු දසුන් මගේ කැමරා කාචයට හසුකරගන්න හිතාගෙන. දහවල් 1.30 පමණ වන විට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වුණේ කඳුහෙල් , දිය ඇලි, ගංගා පසුකරගෙනයි.

අඹේවෙල දුම්රිය ස්ථානය අසලට අපේ ගමනාන්තයේ අයිතිකරු ළහිරු සමීර විජේරත්න සහෝදරයා පැමිණ සිටියේ තනිවම නම් නොවේ. ඔහුගේ ගමන් සගයා වූ නිල් කුරුමිණියා එක්ක. ඒ Volks Wagen Beetle වර්ගයේ කාරයකින්. ලබන අවුරුද්දට මෙයාට අවුරුදු 50 ක්ලූ. ඒත් ගමනත් එක්ක මටනම් හිතුණේ මෙයා නම් තාම තරුණයි කියලයි. අපි මුලින්ම ගියේ කන්දේ ඇල ජලාශය බලන්න. එහි සුන්ඳරත්වය නරඹන අතරතුරේදී ගමන් විඩාවයි සීතලයි නිවෙන්නත් එක්ක සැර කට්ට සම්බෝලයක් එක්ක උණුම උණු රොටියක් කාලා දුම් දාන කට පිච්චෙන තරම් රස්නෙන් තේ කෝප්පයක් බොන්නත් අපි අමතක කළේ නැහැ.  අපේ ඊලග නැවතුම වුනේ මුහුදු මට්ටමේ සිට 1900 m ක් පමණ උසින් පිහිටි කන්දේ ඇල අධ්‍යාපනික වනෝද්‍යානයයි.

හවස්යාමය ළංවත්ම අඹේවෙල ගොවිපළේ කටයුතු සිදුකරම අන්දම බලන්න යන්නත් අපිට පුළුවන් වුණා. එහිදී ලැබුණු උණුසුම්, නැවුම් එළකිරි වීදුරුව එක්ක සීතල වූ ගතට සිතට එක්කළේ අලුත් පණක්. නිල් කුරුමිණියා එක්කම අපි නුවරඑළිය අඹේවෙල පාරේ 8 km ක් විතර ගියාම  මීපිළිමාන 3 කණුව හංදිය හමුවුනා. එතනින් ඇතුළට ඇති දිමුතුගම ගම්මාන බලා අපි පිටත් වුණේ අද දවසේ අපගේ ගමනාන්තය වූ Wood House එක හොයාගෙනයි.

සවස් යාමේ කඳු අතරින් බැහැලා යන හිරු එළිය මීදුමත් එක්ක මේ ලෑලි ගෙදරට අපූරු සුන්ඳරත්වයක් එක් කළා. වටේට තියෙන එළවළු පාත්ති වල නැවුම් බව , සීතල සුළඟ ඒ සුන්ඳරත්වය තවත් හිතට ළං කළා. උණුහුම් කෝපි කෝප්පයක් එක්ක මේ සුන්ඳරත්වය විඳින එක ජීවිතේ මම ලබපු අපූර්වතම අත්දැකීමක් වුණා. සම්පූර්ණයෙන් ලෑලිවලින් සකස් කර ඇති මෙහි කාමර 7 කින් යුක්තයි. එක් කාමරයක තිදෙනෙකුට සිටීමට ඉඩ පහසුකම් ඇති අතර එක් කාමරයක් රු. 3000ක් වැනි ඉතා අඩු මුදලක් එක් රාත්‍රියක් සඳහා අයකරනවා.

කෑම උයා ගැනීමට ද පහසුකම් මෙහි ඇති අතර අවශ්‍ය නම් ඒ අවටින් කෑම සපයා ගැනීමේ පහසුකම්ද තියෙනවා. හවස විනෝදවෙන්න ගිනි මැලයක් ගහලා BBQ එකක් වුණත් දාගන්න මෙහි අවස්ථාව තියෙන බව නොකියාම බෑ. සීතල ප්‍රදේශයක් නිසා වතුර සීතල වුණත් බය වෙන්න දෙයකුත් නැහැ. මොකද මෙහි නාන කාමරවල උණුසුම් වතුර ලබා ගැනීමේ පහසුකම තියෙනවා.

අධික මුදලක් ගෙවා නුවරඑළිය නඟරයේ තැනක් වෙන්කරවා ගන්නවාට වඩා ඒ ආසන්නයේ ඇති මෙවැනි නිස්කලංක පෙදෙසක තැනක් වෙන්කරගන්න එක ඔබටත් ඔබගේ මුදල් පසුම්බියටත් පහසු වේවි. උදෑසන මීදුමත් එක්ක එන සුවදායී හිරු කිරණ සමඟින් නැවුම් හුස්මක් ගන්න මේ ලී මාළිගාවේ සඳළු තලය ඔබට අපූරු ස්ථානයක් වේවි. කලබලකාරී ජීවිතයට පුංචි නිවාඩුවක් දෙන්න, ජිවිතයට අපුරු අත්දැකීමක් එකතු කර ගන්න මෙම ස්ථානය වෙන්කරවා ගැනීමට නම් 071 4314361 ට ඇමතුමක් දෙන්නම වෙනවා.

ඊලග උදෑසන ආහාර වේලෙන් පස්සේ අපි නිල් කුරුමිණියා එක්ක ගියේ අඹේවෙල ස්ට්‍රෝබෙරි ගොවිපළටයි බිම් මල් ගොවිපළටයි. ඉන් පසුව නුවරඑළිය නඟරයට ආපු අපි ලංකාවේ උසම කන්ද වූ පිදුරුතලාගල කන්ද බලා පිටත් වුණා.

ආඩම්බරකාර ජවසම්පන්න නිල්කුරුමිණියා පිදුරුතලාගල යන හැටි හැමෝම බලන් හිටියේ හරිම පුදුමෙන්. ඒවගේම ආසාවෙන්. අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති පිදුරුතලාගල මුදුනටම වාහනයකින් ගමන් කිරීමට පුළුවන්. උස 2524 m ක් පමණ වන මෙහි මුදුනට හිරු එළිය හොඳින් වැටුණු දවසක මනස්කාන්ත ලෙස අවට පරිසරය දිස් වෙනවා. පිදුරුතලාගල මීදුම් අතරින් පල්ලම් බැස්ස අපි ඊලගට ළඟා වුණේ නුවරඑළිය හග්ගල පාරේ ඇති සීතා අම්මාන් කෝවිල අසලට. රාමා සීතා කතාවේ හැටියට සීතාව හොයාගෙන ලංකාවට ආපු හනුමන්තාට සීතාව මුලින්ම මුණ ගැසිලා තියෙන්නේ මෙම ස්ථානයේදීලූ. ඒ වගේම මෙම ස්ථානය සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුකරන විශ්වාසනීය ස්ථානයක් ලෙසයි ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ.

ඒ විදියට අපූරු අත්දැකීම් රැසක් එක්ක ගෙවුණු ලස්සන දවස් දෙකේ මතකයත් එක්කම ලෑලි ගෙදරිනුත් නිල්කුරුමිණියාගෙනුත් වෙන් වුණේ හරිම ලෝබකමකින්. ඊ ළඟ නිවාඩුවට ඔයාලා යන්නේත් නුවරඑළියේද?

සටහන සහ ඡායාරූප : දිළිණි උදාරි

 

1036total visits,7visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *